මෙම මහ මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද වෙනසක් කිරීම අවශ්‍ය යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කරමින් ඊයේ (20) හොමාගමදී පැවති ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය,
“අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවීමට ඒ ඓතිහාසික තීන්දුව ගත් මේ රටේ ජනතාවට මම මුලින්ම ආචාරය පළකර සිටිනවා. මේ රට මෙතෙක් කරවූ පාලකයන් කිසිදාක සිතුවේ නැති ඒ ඓතිහාසික වෙනස කළේ, ඊට දායක වුණේ ඔබ සියලු දෙනායි. ඔබ මේ ජයග්‍රහණය අපට ලබා දුන්නේ අනුර සහෝදරයාත් අපි පිළිබඳවත් විශාල විශ්වාසයක් තබලා. අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ ඒ විශ්වාසයයි. එනිසා අපි නැවත වතාවක් ඔබට කියන්නේ ඔබ අපි කෙරෙහි තබපු විශ්වාසය එලෙසම රකින්න අපි සියලු දෙනාම බැඳී සිටින බවයි. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. ඒ විශ්වාසය තමයි අපිට ශක්තිය දෙන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි මේ රට ගොඩනගන්නේ.
අපේ වේදිකාවේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ අපේක්ෂක කණ්ඩායම සමග එකට සිටීමට හැකිවීමම මම ලැබූ ලොකු භාග්‍යයක්. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අපේ රටේ සියලුම ප්‍රශ්න නියෝජනය කරන තැනක්. අපි හිතුවට කොළඹ තමයි දියුණුම, සංවර්ධනයෙන් ඉහළම තැන තිබෙන දිස්ත්‍රික්කය කියලා මුළු රටේම තිබෙන ප්‍රශ්න සියල්ලමත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. සංවර්ධනය තුළ ලබාගත් ජයග්‍රහණ වගේම අසමානතාද කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. ලංකාවේ තිබෙන හොඳම පාසල් වගේම යටිතල පහසුකම් නැති, ගුරුවරු හරිහැටි නැති පාසල්ද මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. රෝහල්වල තත්වය එයමයි. ලංකාවේ ඉන්න පොහොසත්ම ශ්‍රී ලාංකිකයා වගේම දුප්පත්ම ශ්‍රී ලාංකිකයාද මේ කොළඹ දිස්ත්‍රික්ය තුළ ඉන්නවා. සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය රකිමින් සංවර්ධනය කරන්න බැරිවූ දිස්ත්‍රික්කයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයයි. පැය 24ක් වැස්සොත් මේ දිස්ත්‍රික්කයේ පාරවල් යටවෙනවා. ගෙවල්වලට වතුර දානවා. මෙච්චර කලක් ගතවෙලත් තවම කොළඹ දිස්ත්‍රිකයේ ගංවතුර ප්රශ්නය විසඳගන්න බැරිවෙලා තිබෙනවා.
අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික, පරිසර ආදී සියලු ප්‍රශ්න කොළඹ දිස්ත්‍රික්කය තුළත් උග්‍රවෙලා තිබෙනවා. මුළු රටේම එම ප්‍රශ්න අපි විසඳිය යුතුයි. මේ වේදිකාවේ ඉන්නවා අවුරුදු ගණනාවක් දේශපාලනය කරලා අත්දැකීම් ලබපු, ඔබ වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු අය, මේ වේදිකාව තුළ ඉන්නවා. විවිධ ක්ෂේත්රවල විවිධ වෘත්තීන්වල නියැලිලා අත්දැකීම් බහුල අයත් අපේ වේදිකාවේ ඉන්නවා. ඉහළම කාන්තා නියෝජනයක්ද අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තිබෙන උවමනාව හා කැපවීම ඉහළින්ම තිබෙන කණ්ඩායමක් තමයි අපිට ඉන්නේ.
මෙම මහ මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක වෙනසක් කිරීම අවශ්‍යයි. අපි මේ සැරේ ඒක කරනවා. ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද අපි ඒ වෙනස කරනවා. ජනතාවට වගවෙන, අවංක, දේශපාලන විනයක් තිබෙන අයගෙන් මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. එහෙම අය ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණක් බවද මේ මුළු රටම දන්නවා. සාමූහිකව වැඩ කිරීමේ ගුණය අපි සියලු දෙනාටම තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ රටේ ජනතාවගේත් අදහස් අරගෙන. දැන් අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒකට තමයි අපිට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ. රටේ සියලු ජාතිකත්වයන් නියෝජනය වන අපේක්ෂක කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔවුන් සමග සාමූහික හැඟීමෙන් අපට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.
තනි තනිව ප්‍රශ්න සමග පොර බදලා අපි දැන් හොඳටම හෙම්බත්වෙලා තියෙන්නේ. නමුත් අපි අපේ ප්‍රශ්න විසඳගත යුත්තේ සාමූහිකව, අරගල කරලයි. වැඩකරලයි. හුදෙකලා ජීවිත ගත කරනවා වෙනුවට එකිනෙකා හමුවෙන, සාමූහිකව ප්‍රශ්න විසඳා ගැනීමට ප්රයත්න දරන, එහි ප්‍රතිඵල සාමූහිකව බෙදා ගන්නා සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ එවැනි රටක් එවැනි සමාජයක් නිර්මාණය කරන බව අපි ඔබට සහතික වෙනවා.”















