පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු – වෛද්‍ය සඳරුවන් මදරසිංහ

පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු – වෛද්‍ය සඳරුවන් මදරසිංහ

පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු යැයි වෛද්‍ය සඳරුවන් මදරසිංහ ජනතාවට ආරාධනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීමින් පසුගිය 19 වනදා තංගල්ලේදී පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සඳරුවන් මදරසිංහ,

“අපේ අනුර සහෝදරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පවත්වන පළමු ජනතා රැලිය තමයි අද අපි තංගල්ලේ නගරයේ පවත්වන්නේ. මේ ජයග්‍රහණය අපි ලබා ගත්තේ මෙතෙක් මේ රට පාලනය කළ නිල් – කොළ දේශපාළුවන්ගේ දූෂිත පවුල් පාලනය නිසාම නොවෙයි. අපේ සහෝදර සහෝදරියන් දශක ගණනාවක් තිස්සේ මේ ජයග්‍රහණය ලැබීම සඳහා තම ශ්‍රමය, ධනය මෙන්ම ජීවිතද කැප කළා. මේ ජයග්‍රහණය ඒ හැම පරිත්‍යාගයකම එකතුවක්. ඒ වගේම ලක්ෂ 57ක් පමණ ජනතාවක් අනුර සහෝදරයා ගැන විශ්වාසය තබලා, පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය පාවිච්චි කළා. මෙම ජයග්‍රහණය ඒ සියල්ලේම එකතුවක්.

මම අවුරුදු ගණනාවක් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මම දැකලා තිබෙනවා බෙහෙත් ගන්න ආ සමහර ලෙඩ්ඩු පොලිමේ ඉන්න ගමන් කලන්තෙ දාලා වැටෙනවා. ඒ වගේම හවස ක්ලින්ක් එකට ඇවිල්ලා බස් එකේ යන්න සල්ලි නැතිව ඉන්නවා. සමහර විට පා පැදිය පැදගෙන ගිහිල්ලා මඟදි අලි ගහලා නැවත රෝහලට රැගෙන ආ ලෙඩ්ඩු මම දැකලා තිබෙනවා. ඒ වගේම ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ඒවා පිටින් ගන්න වෛද්‍යවරු තුණ්ඩුව දෙනකොට ලොකු හුස්මක් උඩට ඇදලා පහළට දාපු ලෙඩ්ඩු මම දැකලා තිබෙනවා. ඒ වගේම තම බිරිඳගේ පරීක්ෂණ ටික කර ගන්න බැරුව කුඹුර උගස් කරපු ගොවියන් ගැන මම අහලා තිබෙනවා. රෝහලට යන්න එන්න සල්ලි නැතිව තම ගෙදර ටකරන් ටික විකුණපු පවුල් ගැන විස්තර මම අහලා තිබෙනවා.

ඒ සෑම දෙයකින්ම මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න නම් මේ රටේ දේශපාලන අධිකාරිය වෙනස් කළ යුතු බව අපිට වැටහී ගියා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මත මේ රටේ ඖෂධ මත පසුගිය රජයන් පනවා ඇති බද්ද ඉවත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ගුණාත්මක බවින් උසස් ඖෂධ රෝහලේවලින් ලබා දෙන්නටත් අපි ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. ඒ වගේම ළඟම තිබෙන රෝහලින් ඔබේ පරීක්ෂණ ටික කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ ආණ්ඩුවක් යටතේ අප සකසා දෙන්න සැලසුම් සකස් කර තිබෙනවා.

අද රෝහල්වල එක ඇඳක ලෙඩ්ඩු දෙන්න ගානේ ඉන්න තත්වයක් උදාවෙලා තිබෙනවා. සමහර ලෙඩ්ඩු බිම. සමහර අය වාට්ටුවේ එළියෙන් ඉස්තෝප්පුවේ බිම. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී තිබෙන කාරුණක් තමයි, එකක් ලෙඩ අඩු කරන එක. අනෙක හැම රෝගියෙකුටම අවශ්‍ය පහසුකම් සලසා දෙන එක. අද අපේ රටේ හෘද රෝගීන් තම බයිපාස් සැත්කම කර ගැනීමට නොහැකිව අවුරුදු හතර පහක් පෝලිම් ලිස්ට් එකේ බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් ඒ පොලිමේම මැරී යනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා, දිස්ත්‍රික්කයකට හෘද රෝග ඒකකයක්. පිළිකා රෝග ඒකකයක්, අක්ෂි රෝග ඒකකයක් ලබාදීමේ වැඩපිළිවෙළක්. අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

මේ රටේ ලක්ෂ 85ක් පමණ තරුණ තරුණියන් ජීවත් වෙනවා. පසුගිය ඡන්දයේදී ලක්ෂ 13ක පමණ අලුත් ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වුණා. මේ රටේ ඉගෙන ගත්තු තරුණ තරුණියන්, දේශපාලකයන් පස්සේ ගිහිල්ලා රැකියා අයදින ක්‍රමය වෙනුවට, තම හැකියාවට, උගත්කමට සරිලන රැකියාවක් බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව මේ රට තුළ විවෘත කිරීමට සැලසුම් සකසා තිබෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යා හැකි වාතාවරණයක් අපේ ආණ්ඩුව යටතේ අපි නිර්මාණය කර දෙනවා. අපි ඔබෙන් බලය ඉල්ලන්නේ අනුර සහෝදරයා ගෙන යන මේ නව වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් මේ රටට නව පුනරුද යුගයක් උදාකර දීමටයි.

මේ වේදිකාවෙ ඉන්නේ ටික දෙනෙක් වුණාට ඒ පිටුපස අපේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන සිය දහස් ගණනක් මිනිසුන් මේ පිටුපස ඉන්නවා. අපි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට දිවිහිමියෙන් කැපවෙනවා. මෙවර මහා මැතිවරණයේදී මේ රට නව යුගයක් කරා රැගෙන යාම සඳහා මේ රටේ පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු කියා මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

Facebook
Twitter
LinkedIn