එළඹෙන 14 රටේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව නිර්මාණය කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීමින් තංගල්ලේදී පැවති ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“අද අපි මෙතනට රැස්වෙලා ඉන්නේ අපේ රටේ විශාලම ජයග්‍රහණය අත්පත් කරගෙනයි. අද අපිට කටපුරා සහෝදරයා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කරගෙන ඉන්නවා. අපිට ජනාධිපති බලය ලැබුණා වගේම එම බලය සම්පූර්ණ වෙන්න නම් පාර්ලිමේන්තු බලයද ලැබිය යුතුයි. මෙතෙක් අපේ රටේ පාර්ලිමේන්තුවේ හිටියේ වාසියට එහෙට මෙහෙට පනින දූෂිත පාර්ලිමේන්තු කණ්ඩායමක්.
නොවැම්බර් 14 පවත්වන මහ මැතිවරණයෙන් ජනතාවට සැබෑ ලෙසම වගකියන ජාතික ජන බලවේගයේ විශාලම මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුතුයි. අපි හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතා විශ්වාසය ඉහළින් දිනා ගත් කණ්ඩායමක්. මේ දිස්ත්‍රික්කයෙන් පත් කරන්න පුළුවන් මන්ත්‍රීවරු 07දෙනෙක් විතරයි. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එම 07 දෙනාම ජාතික ජන බලවේගයෙන් තෝරා පත්කරලා රටටම ආදර්ශයක් දෙමු කියලා.
වසර 76ක් තිස්සේ එක කණ්ඩායමක් බලය අරගෙන මේ රටේ ජනතාව තලා පෙලා දමමින් හිටියා. ඔවුන් රට විකුණුවා; රට වැට්ටුවා. රටේ ජනතාවට කළ හැකි සියලු අකටයුතුකම් කළා. මහජන මුදල් හොරා කෑවා. අවලස්සන දේශපාලන සංස්කෘතියක් අපේ රට තුළ ස්ථාපිත කළා. ඒක වෙනස් කරන්න, දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා වගේම එතනින් එහාට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඉදිරියට යා යුතුයි. දැනට ජනාධිපතිවරයා දිනලා සති තුනයි. ඒ මේ කෙටිකාලය තුළ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් බොහෝමයක් ඇති කර තිබෙනවා. අපි ජයග්‍රහණය සමරන්න සංදර්ශන තිබ්බේ නැහැ. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නෙත් ඉතාම චාම් අන්දමට. අපි දිනුවට පස්සේ අනෙක් පක්ෂ වගේ අපේ ඥාතීන්, බිරින්දෑවරු වටකරගෙන සිදුකළේ නැහැ. අපි ඒ විදිහටයි ආදර්ශය දීලා තිබෙන්නේ.
මේ මැතිවරණය දිනන එක අපිට දැන් හරිම පහසුයි. මොකද? පරාජිත කණ්ඩායම් දැනටම බිම ඇදගෙන වැටිලා. ඒ ගොල්ලන්ට උතුර දකුණ සොයා ගන්න බැරිවෙලා. 80කට ආසන්න පිරිසක් දැනටම තරගයෙන් ඉවත්වෙලා. ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලන්ගේ පරාජය නියතයි කියලා. මේ පරාජයට පත්වූ පොහොට්ටුවේ, එ.ජා.ප.යේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම් ජනාධිපතිවරණයට පෙර අපි ගැන මොන තරම් බොරු බේගල් පැතුරුවාද? ඒවා සියල්ල දැන් අවලංගු වෙලා. ජාතික ජන බලවේගයට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කිවුවා. ඒ නිසා අපි බලයට පත්වුණොත් රට අගාධයෙන් අගාධයට යනවා කිවුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. අද ලෝකය පුරාම රාජ්‍ය නායකයන්, නිලධාරීන් අනුර සහෝදරයා මුණ ගැසෙන්න එනවා; ආධාර කරනවා. අපි දැනටමත් පෙන්නලා තිබෙනවා ලෝකයේ වැඩිම ජාත්‍යන්තර සබඳතා පවත්වන්න පුළුවන් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා.
ඒ ගොල්ලෝ අපිට කිවුවා, මාලිමාවේ ආණ්ඩුවක් හදන්න එපා. අපිට පළපුරුද්ද නැහැ. අත්හදා බැලීම් කරන්න එපා කියලා. ඒගොල්ලන් රොත්තක් එකතු කරගෙන කරපු ඇමතිකම් ටික දැන් අපේ තුන්දෙනෙක් යසට කරගෙන යනවා. කොහොමද පළපුරුද්ද? ඒ ගොල්ලෝ තව කිවුවා, අපි ආපුවහම කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා. රුපියල කඩා වැටෙනවා කිවුවා. ආර්ථිකය වැටෙනවා කිවුවා. දැන් කොටස් වෙළඳපොළ වර්ධනය වෙලා. රුපියල ශක්තිමත් වෙලා. දැන් අරගොල්ලෝ කියපු බොරු ඔක්කොම කණපිට හැරිලා. අපි බලයට ආවොත් මේ රට ලේ විලක් ඇති වෙනවයි කිවුවා. ප්රචණ්ඩ ක්‍රියා රට පුරා පැතිරෙයි කිවුවා. නමුත් ඔබ දන්නවා අපි ජයගත්තට පස්සේ නගරයක එක රතිඤ්ඤා කරලක් වත් අපි පත්තු කළේ නැහැ කියලා. අපිට ඡන්දය නොදුන් අයට අපි රිදවන්න ගියේ නැහැ. අපිට ඡන්දය නොදුන් අයටත් අපි කියන්නේ මෙවර මහ මැතිවරණයේදී අපිට ඡන්දය දීලා මේ ජයග්‍රහණය තව තවත් ශක්තිමත් කරලා රට විජයග්‍රහණය කරා රැගෙන යන්න දායක වෙන්න කියලා.
ඒ ගොල්ලෝ තව අපිට කිවුවා අපි බලයට ආවට පස්සේ ආගම් අදහලා ඉවරයි කියලා. පන්සල් කඩා දමයි කිවුවා. පෙරහැර කරන්න දෙන්නේ නැහැ කිවුවා. පන්සල්වලට දානය දෙන්නේ නැහැ කිවුවා. සමහර භික්ෂූන් වහන්සේලා තුන් හතර දෙනෙක් පාවිච්චි කරලා අපිට විරුද්ධව නොයෙකුත් බොරු අවලාද පැතිරෙව්වා. අපි මේ රට හදන්නේ ආගමික නායකයොත් එකතු කරගෙන. අපේ හතුරන් අපිට විරුද්ධව නගපු සියලු චෝදනා සතියක් යන්නටත් පෙර ජාතික ජන බලවේගයේ පාලනය විසින් අවලංගු වන තැනට වැඩ කර තිබෙනවා. මේ බිංදුවටම වට්ටපු රට දැන් අපි හදන්න ඕනෑ. සමහරු සතියෙන් දෙකෙන් අපෙන් ප්රාතිහාර්යයන් බලාපොරොත්තු වෙනවා. අපි මේ රට ගොඩනගන්න පියවරෙන් පියවර ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි ජනාධිපතිවරණයෙන් ලැබූ ජය ඉතිහාසයේ සුවිශේෂී ජයක්. අපිට දැන් ඉන්නේ පොදු ජනතාවගේ නායකයෙක්. අපි දැන් මේ ජයග්‍රහණය තව තවත් ශක්තිමත් කර ගන්න ඕනෑ. ඒ නිසා ලබන 14 වැනිදා අපි අපේ රටේ ශක්තිමත් කර ගන්න ඕනෙ. ලබන 14 වැනිදා අපි අපේ රටේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව නිර්මාණය කර ගනිමු. අපේ විරුද්ධවාදීන් නගන අවලාදවලට නොරැවටී අපි හැමෝම සියලු භේදයන් පසෙකලා එක මිටකට එක්වී මේ මහා මැතිවරණයේදී මාලිමාව විජයග්‍රහණය කර මේ රටේ නව පුනරුද යුගයක් උදාකර ගනිමු.”












