උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් තම රටේ “ප්‍රධාන සතුරා” ලෙස දකුණු කොරියාව නම් කරමින් 2024 ඔක්තෝබර් 15, අඟහරුවාදා, දකුණු කොරියාවේ සෝල් දුම්රිය ස්ථානයේ උතුරු කොරියාව සමග සම්බන්ධ වන අන්තර් කොරියානු මාර්ගවල කොටස් පුපුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි. මීට සති දෙකකට පෙර උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් විසින් දකුණු කොරියාවට එරෙහිව කිසිදු පැකලීමකින් තොරව න්‍යෂ්ටික අවි බලය යොදන බව පැවසූ අතර සෝල් පාලනය සමග ගැටුම් උත්සන්න කරමින් ඔක්තෝබර් 15 වනදා උතුරු කොරියානු හමුදාව විසින් දකුණු කොරියාව සමඟ පවත්වා ගෙන ගිය දේශසීමා වෙළඳාම සඳහා කලින් භාවිතා කරන ලද මාර්ගවල කොටස් මෙසේ පුපුරුවා දමා ඇත.
එසේම අද ඔක්තෝබර් 17 වැනිදා තම රටේ ව්‍යවස්ථාවද සංශෝධනය කරමින් උතුරු කොරියාව විසින් දකුණු කොරියානු සෝල් පාලනය “සතුරු රාජ්‍යයක්” ලෙස නම් කරමින් නව වගන්තියක් ඇතුළු කරනු ලැබීම කොරියානු කලාපයේ සාමය පතන ජාත්‍යන්තර රාජතාන්ත්‍රික ප්‍රජාවේ දැඩි කණස්සල්ලට හේතු වී ඇත.
“උතුරු කොරියාව මිලිටරි මායිම් රේඛාවට උතුරින් ඇති Gyeongui සහ Donghae හි මාර්ගවල පිහිටුවා තිබු පාලම් හා මාර්ග පුපුරුවා හැර ඇත”, දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් අන්තර් කොරියානු දේශසීමාවේ නිල නාමය භාවිතා කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. දකුණු කොරියානු හමුදා ඔවුන්ගේම භූමිය තුළම සිට “ප්‍රතිචාර ප්‍රහාරයක්” දියත් කළ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව පවසන්නේ දකුණු කොරියානු සතුරා සමග පැවති සියළු දේශසීමා සම්බන්ධකම් (DMZ, zone of demarcation) ස්ථිර ලෙසම අවසන් කිරීම සඳහා මෙසේ රටවල් දෙක අතර පැවති සියලු දේශසීමා සම්බන්ධකම් විනාශ කර දැමීමට කිම් ජෝන්උන් තීරණය කල බවය.
අදාළ තීරණය ප්‍රසිද්ධියට පත් කරමින් උතුරු කොරියානු හමුදාව ඔක්තෝබර් 9දා අනතුරු ඇඟවූයේ රටවල් දෙක සම්බන්ධ කරන අතිශය සංකේතාත්මක මාර්ග සහ දුම්රිය මාර්ග “ස්ථිරවම” කපා හරින බවත්, දේශසීමා දිගේ “ශක්තිමත් ආරක්ෂක ව්‍යුහයන්” ගොඩනැගීමට පියවර ගන්නා බවයි. මේ අනුව කොරියානු රටවල් දෙක අතර දේශසීමාව දැනටමත් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. 1953 දෙරට අතර පැවති යුද්ධය අවසන් වීමෙන් පසු, අන්තර් කොරියානු මහාමාර්ග සහ දුම්රිය මාර්ග දෙක නැවත විවෘත කර ඇත්තේ කෙටි සාමකාමී කාලවලදී හා සටන් විරාම පැවති අවස්ථා වලදී පමණි.
මෙම භාවිතයට නොගත් මාර්ග විනාශ කිරීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තම රටේ “ප්‍රධාන සතුරා” ලෙස නම් කර ඇති දකුණු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය දැඩි කර ඇති බවට පෙන්වන නව නිදර්ශනයකි. 2024 ජනවාරියේ දී, කිම් ජෝන් උන් විසින් සෝල් සහ කොරියානු යලි ඒකාබද්ධ කිරීමේ සැලසුම් සමඟ සබඳතා සඳහා පිහිටුවා තිබුණු සියලුම ආයතන විසුරුවා හැරීමට ද නියෝග කළ අතර “මිලිමීටර 0.001” කින් හෝ ඔහුගේ උතුරු කොරියානු භූමිය උල්ලංඝනය කළහොත් යුද්ධය ප්‍රකාශයට පත් කරන බවට ද තර්ජනය කළේය.
2022 දී දකුණු කොරියාවේ බලයට පත් කොන්සර්වේටිව් ජනාධිපති යූන් සුක් යෝල් උතුරු කොරියානු පාලනයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියකට තල්ලු වී ගොස් ඇති අතර එක්සත් ජනපදය හා ජපානය සමඟ එක් වී මිලිටරි සන්ධාන ශක්තිමත් කරමින් රහසිගතව අනුග්‍රහය දැක්වීම නිසා ඔහු බලයට පත් වූ දා සිට කොරියා දෙක අතර රාජතාන්ත්‍රික සබඳතා සැලකිය යුතු ලෙස පිරිහී ගොස් ඇති බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගේ මතයයි. ඔහු බලයට පත් වූ දා සිට මිත්‍ර පාක්ෂිකයින් සමග උතුරු කොරියානු පාලනය කුලප්පු කරමින් නිතිපතා ඒකාබද්ධ යුධ අභ්‍යාස පවත්වන අතර එය උතුර ආක්‍රමණය කිරීම සඳහා සිදු කරන යුධ පෙරහුරුවක් ලෙස කිම් ජෝන් උන් මේ අතර පෙන්වා දේ.
උතුරු කොරියානු KCNA රාජ්‍ය මාධ්‍යවලට අනුව, කිම් ජොන් උන් සඳුදා රටේ ඉහළ හමුදා නිලධාරීන්ගේ රැස්වීමක මුලසුන දැරූ අතර “ක්ෂණික හමුදා ක්‍රියාමාර්ග” සඳහා ඔහු අවශ්‍ය නියෝග ලබා දී ඇත. උතුරු කොරියානු පාලන තන්ත්‍රය විසින් දකුණු කොරියානු ඩ්‍රෝන් ගුවන් ගමන් කිහිපයක් ගැන සෝල් පාලනයට චෝදනා එල්ල කරනු ලබයි. උතුරු කොරියාවට අනුව, “ගිනි අවුලුවන කටකතා සහ විකාර” වලින් පිරුණු ප්‍රචාරක පත්‍රිකා ගුවනින් දැමීම සම්බන්ධයෙන් දකුණු කොරියානු සෝල් පාලනය වගකිව යුතු බවට ද චෝදනා කරයි. තවත් එක් ඩ්‍රෝන යානයක් හෝ එසේ උතුරු කොරියානු භූමියට පැමිණියහොත් “යුද්ධය ප්‍රකාශ කිරීමක් ” ලෙස සලකනු ඇති බවට උතුරු කොරියාව දකුණු කොරියාවට ඉරිදා අනතුරු ඇඟවනු ලැබුවේය.
මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun, කියා සිටින්නේ “උතුරු කොරියානු චෝදනා සත්‍යද නැද්ද යන්න තහවුරු කිරීමට තමන්ට නොහැකි බවයි. දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් පවසන්නේ ද මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සාමාන්‍යයෙන් බැලූන් මගින් උතුරට ප්‍රචාරක පත්‍රිකා සහ ඩොලර් යැවීමේ ඉතිහාසයක් ඇති දකුණු කොරියාවේ ඇතැම් කණ්ඩායම් කුඩා හඳුනා ගැනීමට අපහසු ඩ්‍රෝන යානා භාවිතා කරන බවද වාර්තා වේ. ඒවා තම රේඩාර් යන්ත්‍ර වලට අසු නොවන බවට ද දකුණු කොරියාව පෙන්වා දේ.
කෙසේවෙතත් මෙම වසරේ මැයි මාසයේ සිට, උතුරු කොරියාව විසින් ද කුණු පටවාගත් බැලූන් දහස් ගණනක් දකුණට යවා ඇති අතර, දේශසීමා දිගේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිය ප්‍රචාරක විකාශන නැවත ආරම්භ කිරීම නිසා උතුර සමග මිලිටරි ගැටුම් වැළැක්වීමේ අරමුණින් 2018 දී අවසන් කරන ලද ගිවිසුමක් අත්හිටුවීමට ද සෝල් පාලනය පසුගිය දා තීරණය කරනු ලැබුවේය. 2022 වසර අවසානයේදී, උතුරු කොරියානු ඩ්‍රෝන යානා පහක් දකුණේ ගුවන් සීමාවට ඇතුළු වූ අතර, වසර පහකට පසු එම පළමු සිදුවීම හේතුවෙන් සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමනය ද අඩාල කරනු ලැබූ බව වාර්තා වේ. එහිදී දකුණු කොරියානු හමුදාව ප්‍රහාරක ගුවන් යානා ගුවන් ගත කළ අතර කිසිදු ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ඔවුන් අසමත් විය. මෙම වසරේ ජූලි මාසයේදී දකුණු කොරියානු සෝල් පාලනය විසින් ගුවන් ගමන් මැදදී උතුරු කොරියානු ඩ්‍රෝන යානා දිය කළ හැකි ලේසර් පද්ධති වසර අවසන් වන විට යොදවන බවට ද නිවේදනය කළේය.
සඳුදා උතුරු කොරියාවේ Pyongyang හි පැවති එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමෙන් පසුව, උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට එරෙහිව ඩ්‍රෝන යානා දකුණට යැවීමෙන් ප්‍රතිචාර දක්වයිද නැතහොත් ඩ්‍රෝන යානා නැවත තම භූමියට රිංගුවහොත් දැඩි යුධමය ක්‍රියාමාර්ග ගනීද යන්න කෙරෙහි ලොව පුරා අවධානය යොමු වෙමින් පවතී. ඩ්‍රෝන් ආක්‍රමණයන් නැවත නැවතත් සිදු වුවහොත් උතුරු කොරියාව හා දකුණු කොරියාවේ දේශසීමාවන්හි විශාල ප්‍රකෝපකාරී ක්‍රියාවල දෙරට විසින් නිරත වීමට ඉඩ ඇති බව දේශපාලන විශේඥයන්ගේ මතයයි.
කොරියානු අර්ධද්වීපයේ යුධමය ගැටුම් උත්සන්න වේ යැයි විමසිල්ලෙන් සිටින චීනය අඟහරුවාදා ප්‍රකාශ කළේ තත්වයේ වර්ධනයන් නිරීක්ෂණය කරන බවයි. “අර්ධද්වීපයේ හිස ඔසවමින් පවතින යුධමය ආතතීන් සියලු පාර්ශ්වයන්ගේ පොදු අවශ්‍යතාවලට පටහැනි වන අතර ප්‍රමුඛතාවය දිය යුත්තේ ඒවා යුද්ධයක් දක්වා උත්සන්න වීම වැළැක්වීමයි” යනුවෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් විදේශ රටවල මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම මෙන්ම පවතින දේශසීමා ගැටලු දේශපාලන විසදුමක් මගින් විසඳා ගැනීමට චීනය කැපවී සිටින බව ඔහු තවදුරටත් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.










