මේ වනවිට චීන හමුදා තායිවානය අවට මුහුදේ යුධ ගුවන් යානා හා නෞකා සංසරණය උත්සන්න කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. ඔක්තෝම්බර් 14 වැනිදා දින දෙකක් පුරා ගුවන් යානා 125ක් යොදාගනිමින් මෙසේ තායිවානයේ උතුරෙන්, දකුණෙන් හා නැගෙනහිරෙන් ගුවන් වාර සිදු කරමින් දැවැන්ත මෙහෙයුමක් සිදු කළ බවට තායිවානය චීනයට චෝදනා කරනු ලබයි. මේ සම්බන්ධයෙන් චීන රජය පවසනුයේ මෙම ගුවන් මෙහයුම මගින් තම ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට අපේක්ෂා කරනු ලබන බවත් තායිවාන ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදු කරන ලද බෙදුම්වාදී අරමුණු සහිත ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් හා එයට සහය දෙන දේශීය හා විදේශීය බලවතුන්ට අනතුරු හැඟවීම සඳහා මෙම මෙහෙයුම සිදු කළ බවය.
තායිවානය පවසා සිටින්නේ ගුවන් යානා 153ක් භාවිතා කරමින් කරන ලද මෙම යුධ මෙහෙයුමෙන් යුධ යානා 111ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කර ඇති අතර එය දිවයින සහ චීනයේ ප්‍රධාන භූමිය අතර කිලෝමීටර 180ක් පළල සමුද්‍ර සන්ධිය දෙකඩ කරන දේශසීමාව තුළ සංකේන්ද්‍රණය වී එහි මරමස්ථානවලට සමීපව සිදු කර ඇත. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, අඟහරුවාදා උදෑසන පෙරවරු 6ට අවසන් වූ පැය 25ක කාලයක් තුළ චීන යුධ මෙහෙයුම නොකඩවා සිදු කර ඇත. එම කාලය තුළ චීන නැව් 14ක්ද චීන මුහුදේ සැරිසැරූ බවටද තායිවාන හමුදා සොයා ගෙන ඇත.
තායිවානයේ “බෙදුම්වාදීන්ට” “අනතුරු ඇඟවීමක්” ලෙස ඉදිරිපත් කරන ලද මෙම හදිසි මෙහෙයුම මගින් බීජිං පාලනය විසින් තායිවාන බලධාරීන්ට භූමියේ ස්වාධීනත්වය සඳහා යයි පවසමින් තවදුරටත් ප්‍රචාරක කටයුතු සිදු නොකරන කරන ලෙසට බලකර ඉල්ලා සිටි. චීන ඒකීය භාවයට තර්ජනය කරනු ලබන ඕනෑම බලවතෙකුට එරෙහිව තම යුධ බලය පෙන්වීමට පසුබට නොවන බවට ද චීන හමුදා ප්‍රධානියෙකු වන LI XI විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේය.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා තායිවාන ජාතික දිනයේදී තායිවාන ජනාධිපති ලායි චිං-ටේ කළ කතාවකින් තමන් බලයේ සිටිනා තාක් තායිවානය “චීන ඈඳා ගැනීමට” හෝ “එහි ස්වෛරීභාවය ආක්‍රමණය කිරීමට” ඉඩ නොදෙන බවට ඔහු විසින් කරන ලද ප්‍රතිඥාව නිසා චීනය ඇවිස්සී තිබිණි. 1949 දී චීන සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු එහි ඉතිරි භූමි ප්‍රදේශ සමඟ යලි ඒකාබද්ධ කිරීමට තවමත් සමත් වී නොමැති තායිවානය රටේ තවත් එක් පළාතක් ලෙස චීනය සලකයි.
අඟහරුවාදා ජපානය සඳහන් කලේ බීජිං පාලනය වෙත සිය “කනස්සල්ල” ප්‍රකාශ කළ බව ය. එසේම ජපානය විසින්ද ප්‍රහාරක ජෙට් යානා කීපයක් දකුණු ජපානයේ යොනාගුනි දූපත අසලට යවා ඇති බවටද වාර්තා වේ. ඇමරිකාවද චීන මෙහයුම හෙලා දකින ලද්දේ එය කලාපයේ සාමයට එල්ල කල බලවත් පහරක් ලෙස සලකමිනි. ඇමරිකාව චීන බිජිං පාලනය පමණක් පිළිගනු ලබන අතර තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. එහෙත් ඇමරිකානු යුධ ආයුධ මිලදී ගනු ලබන ප්‍රධාන ගැනුම්කරුවෙක් ලෙස තායිවානය තවදුරටත් ක්‍රියා කරයි. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්ශවය අතර වහා සාකච්චා ආරම්හ කර අර්බුධය විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටි.
කෙසේ වෙතත් මෙම දැවැන්ත යුධ මෙහෙයුම සම්බන්ධයෙන් යුධ විශේඥයයින් පවසන්නේ සමස්ථ චීන මැදිහත් වීම මගින් දින කීපයකට තම යුධ බලය තුලින් තායිවානය වසා දමා දිවයින ආක්‍රමණය කිරීමට ඇති හැකියාව චීන හමුදා ලෝකයට පෙන් වූ බවයි. මහජන චීන හමුදාවට වසර සීයයක් පිරෙන 2027 වසරේදී හෝ 2049 දී චීන සමුහ ආණ්ඩුව පිහිටුවා වසර සියයක් පිරෙන දා හෝ තායිවානය ආක්‍රමණය කිරීමේ වැඩි ඉඩක් පැවතිය හැකි බවට ඔවුන් තව දුරටත් පෙන්වා දේ.
මේ සම්බන්ධයෙන් ලෝක ආර්ථික විශේඥයන් කියා සිටිනුයේ මෙම ගැටුම ඉදිරියට ගියහොත් චීනය හා තායිවානය අතර ඇති සමුද්‍ර සන්ධිය තුල සිදු වන 20%ක් වන ජාත්‍යන්තර නාවික වෙළඳාමට බරපතල තර්ජනයක් සිදු විය හැකි බවයි. විශේෂයෙන් ලෝක වෙළඳ පලට කෘතීම බුද්ධිය වර්ධනය කිරීම සඳහා අති -නවීන අර්ධ සන්නායක නිෂ්පාදන වලින් 90%ක් සපයන්නේ තායිවානය වීම නිසා චීන-තායිවාන ගැටුමක් ලෝක ආර්ථිකය කඩා වැටීමේ කඩයිම දක්වා යාමේ ඉතා බරපතල අහිතකර ප්‍රථිපල ඇතිවිය හැකි තත්වයක් නිර්මාණය විය හැකි බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.










