චෞර වළල්ලේ මුල් පුරුකක් වූ කැබිනට් ඇමති කොටු කළ මෙහෙයුම

චෞර වළල්ලේ මුල් පුරුකක් වූ කැබිනට් ඇමති කොටු කළ මෙහෙයුම

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් කර ගැනීමෙන් පසු ගෙවී ගිය දින 10කට ආසන්න කාල සීමාව පිළිබඳව සතුරු බලවේග විසින් සංවිධානාත්මකව ජනතාව නොමඟ යවන ප්‍රචාර දියත් කර තිබේ.

විශේෂයෙන් ම, වංචා දූෂණ සිදු කළ ඉහළම දේශපාලඥයන් ඇතුළු චෞර කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව නොමඟ යවන ප්‍රචාර ප්‍රබල ය. නමුත් එම චෞර කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කෙතරම් සියුම් ලෙස කළ යුතුද යන්න ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වූ “තත්පරයක් දෙන්න“ නම් ටෙලි නාට්‍යයෙන් තේරුම් ගත හැකිය. යථාර්ථවාදී වූ එම ටෙලි නාට්‍යය පිළිබඳව ලංකා ටෘත් තැබූ සටහන සහ 2024 ජූනි 29 වෙනි දින විකාශනය කළ අවසන් කොටස උපුටා ගෙන පහත දැක්වේ.

පියුමි හංසමාලිට හැරෙන්නවත් බැරිවූ පූජනී ඒකනායකගේ සුපිරිම ගේම

පියුමි හංසමාලි මේ දිනවල කතාබහට ලක්ව සිටින්නේ කුමන හේතු නිසා දැයි බොහෝ දෙනා දැන ගෙන සිටී. ඒ රුපියල් මිලියන 250කට ආසන්න දේපොළ උපයා ගත් ආකාරය පිළිබඳ ගැටලුවක් නිසාය. රටේ බොහෝ දෙනා නොදන්නා පියුමි හංසමාලිට හැරෙන්නවත් බැරි වූ ගේමක් දුන් තැනැත්තියක් පිළිබඳව සවිස්තර පසුගිය සතියේ සම්පූර්ණයෙන්ම හෙළි විය. ඒ පූජනී ඒකනායක පිළිබඳවය. ඒ ගේම රුපියල්වලින් නොව ඩොලර්වලින්ය. ඩොලර් මිලියන 11.5ක ගේමක් දීමය. රුපියල්වලින් නම් මිලියන 3500ක් පමණය.

අපට මෙතැන් සිට පියුමි හංසමාලි අදාළම නැත. අතිශය වැදගත් දේශපාලන කරුණු යට ගසමින් පියුමි හංසමාලි තව ටික කලක් විවිධ ප‍්‍රවෘත්ති මවනු ඇත. එයට සමාන්තරව කිසිදු අවධානයක් යොමු නොවූ බව කිව හැකි පූජනී ඒකනායකගේ සුපිරිම ගේම පිළිබඳව මුළු රටේම අවධානය දැනුවත්ව යොමු කළ යුතුව තිබේ. එය අතිශය දේශපාලනික අවශ්‍යතාවකි. අපගේ ජීවිත තීරණය කරන්නකි.

පූජනී ඒකනායක පිළිබඳ කතාව ඉන්දීය ත‍්‍රාඩ දේශපාලකයන් ප්‍රමුඛ චෞර වළල්ලේ කොටසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්මාණය කළ චිත්‍රපටයක් වැනි විය හැකිය. එය එතරම්ම මනෝරාජික බවකින්ද යුක්ත බව ඇතමෙක් කල්පනා කළ හැකිය. එවැනි වාද විවාද ඕනෑ තරම් තිබිය හැකිය. ඕනෑම කෙනෙකුට එවැනි විවාද කිරීමට ඉඩ තබා, ඒ කතා පුවත ගැන කෙටි විමසා බැලීමක් කිරීම අවශ්‍යය.

පූජනී ඒකනායක ගණකාධිකාරීවරියක්ය. නිකම්ම තැනෙක නොවේ, අමාත්‍යාංශයක ප‍්‍රධානම ගණකාධිකාරිවරියක්ය. ඇගේ සැමියා විශේෂඥ වෛද්‍යවරයෙක්. කුඩා දියණියකගේ මවක්ය. ඇය රාජකාරි කරන්නේ කාලිංග පලිහවඩන අමාත්‍යාංශ ලේකම් යටතේය. ඇමති ෆීලික්ස් රාජගුරුය. අමාත්‍යාංශයේ තිබෙන මහජන මුදල් ඩොලර් මිලියන 11.5ක් කොල්ලකාලාය. මේ අමාත්‍යාංශයේ ලේකම් කාලිංග පලිහවඩන මහජන මුදල් කොල්ලකෑමට එරෙහිව සිටින නිලධාරියෙක්ය.

ඒ නිසාම අමාත්‍යාංශ ලේකම් එම නිවස තුළ දීම ඝාතනය කෙරේ. ඝාතකයා පිළිබඳව CCTV දර්ශන ඇතුළු දෘශ්‍යමාන සාක්ෂි ඔස්සේ පරීක්ෂණ ඇරඹේ. පූජනී ඒකනායක මාට්ටුවන්නේ එහිදීය. ඉහළ නිලධාරි මධ්‍යම පාංතික ජීවිතවල තිබෙන ගේම් ඇහැට කනට පේන, පූජනී ඒකනායක නම් කාන්තාවගේය. ඇය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරේ. බන්ධනාගාරය තුළ සිටින කාන්තා චෞර කණ්ඩායමක් ඉතා සැලසුම් සහගතව ජූජනී ඒකනායක මරා නොදමා දිය හැකි වද බන්ධන අන්තයටම ගෙන යයි.

ධර්මජිත් ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. පූජනී අධිකරණයට ඉදිරිපත් කර අදාළ පරීක්ෂණ කටයුතු පැවරී තිබෙන්නේ ධර්මජිත්ගේ සිට ඉහළ නිලධාරි කණ්ඩායමකටය. ධර්මජිත් පොලිස් පරීක්ෂක සමග පූජනීගේ වෛද්‍ය සැමියා අධිකරණයට පැමිණෙන අවස්ථාවක්ය. අධිකරණය ඉදිරියේ බ්‍රෝකර් වැඩ කරන, වන්නකුගේ විශේෂ අවධානයට මේ දෙදෙනා යොමුවේ. අදාළ “අධිකරණ ක්‍රියාමාර්ග” පිළිබඳව ඉව වැටෙන බ්‍රෝකර් වන්නකු සියුම් ලෙස ගේමක් ගසා මේ නඩුවේ නිමිත්ත වූ අමාත්‍යාංශ ලේකම් ඝාතනය පිළිබඳ පරීක්ෂණ තමා වෙත ලබා ගැනීමට සමත් වේ. ඒ නිකම්ම නොවේ. පූජනීගේ සැමියා වන වෛද්‍යවරයාගෙන් රුපියල් මිලියන ගණනක ‘ගාස්තු’ අය කිරීමකින්ය.

පූජනී ඒකනායකගේ ඩොලර් මිලියන 11.5ක කොල්ලය රැක ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් කාලිංග පලිහවඩන ඝාතනය කරන ලද බව ඇමති ෆීලික්ස් රාජගුරු කරුණු සහිතව පොලිසියට ඔප්පු කර තිබේ. ෆීලික්ස් ඇමතිට ඉතාම හොඳින් පෑහී ගිය පෞද්ගලික ලේකම් කෙනෙක් තෝරාගෙන සිටී. මේ ලේකම්ට දිවිය ලෝකයේ සිට අපාය දක්වා ඕනෑම තැනකින් ඕනෑම දෙයක් කර ගත හැකි යාන්ත්‍රණයක් පවතී.

උසාවිය ඉදිරියේ රැඳී සිටිමින් දවසේ ගතමනාව සොයා ගන්නා වන්නකු පොලිස් පරීක්ෂක ධර්මජිත් සමග එක්වී වෙනම ගේමක් පටන් ගනී. වෛද්‍යවරයාගෙන් රුපියල් මිලියන ගණනක් ලබාගෙන වන්නකු දියත් කරන ගේම ධර්මජිත් පොලිස් පරීක්ෂකට අතේ මාට්ටුවේ. දැන් ඒ දෙදෙනාම එක්වී වෙනම ගේමක් ඉදිරියට ඇදේ. ධර්මජීත් මේ ගේමට තවත් උසස් නිලධාරියෙකු සහ උසස්ම පොලිස් නිලධාරියෙකු දක්වා එක්කර ගැනීමට සමත් වේ.

අධිකරණයකින් ඇපයක් ලබා දිය නොහැකි අපරාධයක් කළ පූජනී ඒකනායකට ඇප ලබා දීම දක්වා ගේමක් වන්නකු සහ පොලිස් පරීක්ෂක ධර්මජිත් ප්‍රමුඛ පිරිස විසින් දියත් කරයි. ඒ අතර ඝාතනයට ලක් වූ අමාත්‍යාංශ ලේකම් කාලිංග පලිහවඩනගේ එකම දියණිය වෛද්‍ය නිත්‍යා පලියවඩන සිය දිවි නසා ගනී. තවත් පැත්තකින් බන්ධනාගාර ගත කර සිටින වෛශ්‍යාවකගේ උපදින්න සිටින දරුවාට උල් ආයුධයකින් ඇන ඝාතනය කරයි. බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඉහළම නිලධාරිණිය වන බ්‍රිජට් මිලියන ගණනක අල්ලස් ලබාගෙන අත්අඩංගුවට පත්වේ.

එක් අවස්ථාවකදී වන්නකුගේ රුපියල් මිලියන ගණනක ගේම ලීක් වී ඔහුව ඝාතනය කිරීමට කුලී ඝාතකයෝ දෙදෙනෙක් පැමිණේ. වන්නකුගේ සහ බිරිඳගේ ප්‍රතිප්‍රහාර හමුවේ එක් කුලී ඝාතකයෙකු මිය යයි. සියල්ල වෙලී පැටලී ගිය නයිලෝන් නූල් බෝලයක්ය. ඉතාම මානවවාදී සැබෑ මහජන නියෝජිතයෙකු වී ඇමති ධුරය දරන ෆීලික්ස් රාජගුරුට තම අමාත්‍යාංශ ලේකම් ඝාතනය අති විශාල කරදරයක්වී තිබේ. පොලිස් ලොක්කා අනවශ්‍ය කටයුතු රැසක් සිදුකර තිබේ. මේ ක්‍රියාවලිය දකින ඇතැම් දෙනෙක් “මේ රට ගොඩගන්න නම් බෑ” කියන තරමට ඇමතිටවත් පාලනය කළ නොහැකි සේ මිලියන ගණන් කප්පම් ගත් බ්‍රෝකර් වන්නකු සහ පොලිස් පරීක්ෂක ධර්මජිත් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරිත්වය බලවත්වී ඇත.

මේ තත්වය හමුවේ ඇමති, ෆීලික්ස් රාජගුරු පොලිස් අධිකාරී ඩෙනිස්ට හොඳවයින් පාඩමක් කියා දෙන තරමට තත්වය නරක් වී ඇත. ඇමතිවරයා පොලිස් අධිකාරීවරයාට මුලදී කරුණු පැහැදිලි කර දෙයි. “අන්තිමට මොකද වුණේ. කෙල්ල පලිහවඩන මහත්තයාවත් ඇන්දුවා. මාවත් ඇන්දුවා. අමාත්‍යාංශයේ ප්‍රතිපාදන පැනමා එකවුන්ට් එකට ඇද්දුවා” මුල සිට අගට කරුණු “ඇත්ත ඇති සැටියෙන්” ඇමති පොලිස් අධිකාරීට හෙළි කර දෙයි.

එහෙත් වැඩක් වෙන්නේ නැත. උසාවිය ඉදිරියේ වේලි වේලි සිටි බ්‍රෝකර් වන්නකු වගේම යුනිෆෝම් එකෙන් පාරේ වේලෙමින් සිටින ධර්මජිත්ලාගේ ගේම ඉහළටම වැඩ කරන්නේය. මේ අවස්ථාවේදී ඇමති ෆීලික්ස් රාජගුරුට සිදු වූයේ පොලිස් අධිකාරීට අලුත් පාඩමක් කියා දෙන්නටය. “නිකං පයට පෑගෙන ගොම ගොඩක් වෙන්න එපා ඩෙනිස්. මතක තියා ගන්නවා, ඔය රස්සාවට කෙලව ගන්න එපා” ඒ තරමට තත්වය නරක් වී ඇත. පූජනී ඒකනායක, වන්නකු, ධර්මජිත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ඩෙනිස් පමණක් නොවේ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ලොක්කිය බ්‍රිජට් ද එක් පිලකය.

අන්තිමේ කරන්න දෙයක් නොවෙන තැන ඇමති ෆීලික්ස් රාජගුරුට සිදු වෙන්නේ වෙනම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටය. මහ ජනතාවත් එක්ක පාරට බැස සටන් කිරීමට ඇමති ෆීලික්ස් රාජගුරුට සිදුවී තිබේ.

එහෙත් එයට පෙර සියල්ල ජන මාධ්‍යය හමුවක් පවත්වා රටට හෙළි කිරීම දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට සිදු විය. මෙම මාධ්‍ය හමුව පවත්වන තැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩෙනිස් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ”විලී” නම් පුද්ගලයෙකු රැගෙන කඩා වදී. විලී ඒ වනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. ඔහු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඇමති ෆීලික්ස්ගේ නියෝග මත ඔහුගේ පෞද්ගලික ලේකම් හර්ෂ සියලු අපරාධ කොන්ත්‍රාත් ලබා දුන් පාතාල නායකයා බව තහවුරු වීමෙන් පසුව. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩෙනිස් පෙරේරා මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලන් ඉදිරියේ චෝදනා පත්‍රයක් කියවයි.

“කාලිංග පලිහවඩන ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වශයෙනුත්, ඩොලර් මිලියන 11.5ක් විශුද්ධි කිරීමේ චෝදනා යටතේත් ෆීලික්ස් රාජගුරු වන ඔබව අත්අඩංගුවට ගන්නවා”

ඇමති ෆීලික්ස් රාජගුරුට උතුර දකුණ මාරුවී නැගී සිටී. “තමුසෙගෙ ඔලුව නරක්වේගෙන එනවද ඩෙනිස්, යකෝ මම කැබිනට් ඇමතිවරයෙක්. කැබිනට් ඇමතිවරයෙක්, ෆීලික්ස් රාජගුරු. උඹලා වගේ තුට්ටු දෙකේ නිලධාරීන්ට මාව අත්අඩංගුවට ගන්න බෑ යකෝ. මම ෆීලික්ස් රාජගුරු” මේ අවස්ථාවේ තවත් පොලිස් නිලධාරියෙක් ඉදිරිපත්වේ “ඔබතුමා ඔය කියන දේවල් අපිට උසාවියේදී ඔබතුමාට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා නීතියට අවනත වෙලා මෙතන කලබල කරන්නේ නැතුව අපිත් එක්ක යන්න එන්න. මාධ්‍යවේදීනුත් මෙතන ඉන්නවානේ”

මතුපිටින් පෙනෙන, කොටින්ම CCTV දර්ශනවලට පවා ඇතුළතින් පවතින්නේ මොනවාද? බොහෝ දෙනෙකු පියුමි හංසමාලි දකින අතර පූජනී ඒකනායකලාගේ පෙළ ගැස්ම නොපෙනෙන මහා ප්‍රවාහයක් වී පවතී. පූජනී ඒකනායකගේ මේ ගේම හෙළි කළේ ස්වාධීන රූපවාහිනියෙන් වීම තවත් විශේෂත්වයක්. තිර රචනයෙන් රසික සුරවීර ආරච්චි, අධ්‍යක්ෂණයෙන් සුපුන් රත්නායක, කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් නාමල් සමරතුංග, විරංග කැටපෙආරච්චි, සංගීතය අනුෂ්ක වීරක්කොඩි මේ පූරු ගේම ටෙලිනාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරීය.

මේ ඉන්දියාවේ ත්‍රාසය ජනක චිත්‍රපටයක් නොවේ. මේ අපේ රටේ රොද බඳිමින් සිටින ජන පෙළ ගැස්මක අරමුණු සහගත ක්‍රියාකාරිත්වයක් නොවේද? මේ දක්වා මහජන පෙළ ගැස්ම සුරැකිව වර්ධනය කරමින් ගෙන ඒමට දිවිපිදූවන් ටෙලිනාට්‍යය තුළ සංකේතවත් කර තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම් පලිහවඩන, වෛද්‍ය නිත්‍යා සහ මව් කුස තුළදීම මරාදැමූ දරු පැටියා මගින්ය. ෆිල්ක්ස් රාජගුරු පමණක් නොවේ. කැබිනට් මණ්ඩලයේ බාගයක්ම ඔහුගේ චෞරයන්ය. ෆිලික්ස් රාජගුරුට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් හර්ෂ රත්නායකට අධිකරණයෙන් නීතිය ක්‍රියාත්මක කරවීය.

මහජනතාවගේ මුදල් ඩොලර් මිලියන 11.5ක් ඔවුන් වෙතය. මේ සියල් “තත්පරයක් දෙන්න” ටෙලි නාටයෙන් දැක ගන්න යූ ටියුබ් අවකාශය සියලු දෙනාටම විවෘතය. පියුමි හිංසමාලිලා හරහා මවන ප්‍රවෘත්ති කතාන්දර දෙස දෑස් දල්වා සිටිනවා වෙනුවට රටේ අනාගතය දල්වන මෙවැනි නිර්මාණ කෙරෙහි දෑස් දැල්වීම අත්‍යවශ්‍ය නොවේද?

විශේෂයෙන්ම උපේකා ස්වර්ණමාලි, ධනුෂි දිසානායක වැනි ශිල්පිනියන්ගේ රංගන ප‍්‍රතිභාව තිබෙන්නේ කිනම් ඉසව්වක දැයි කදිමට ඔප්පු කර තිබේ. රොජර් සෙනෙවිරත්න, සේමිණී ඉද්දමල්ගොඩ, තරින්දි ප‍්‍රනාන්දු, ශ්‍යාමි ප‍්‍රනාන්දු, ශලනි තාරකා, දමිතා අබේරත්, මාධනී මල්වත්ත, ඇන්ටන් කුරේ, පූජන දන්දෙනිය, සංජීව දිසානායක, වොල්ගා කල්පනී, අර්ඩ්ලි වෙදමුණි, හේෂාන් මනුල, සමන්ත කුමාරගේ, සමන්ත පරණලියනගේ ඇතුළු සියලු දෙනා තම තමන්ගේ චරිතවලට මනාව පණපොවා තිබිණි.

එහ හුදු ඇස් බැන්දුමක් නොව යථාර්ථයක්මය. ඒ යථාර්ථය වේල පහින්ම ගෙන ආ සියලූ දෙනාටම ‘ස්තුතියි’ නොකියා සිටිය නොහැකිය.

නන්දිමිත්‍රගේ සතියේ සටහන

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්