ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක කෙරෙහි දමිළ සහ මුස්ලිම් ජනතාව මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී විශ්වාසයක් තබා ඇති බව එම ප්‍රතිඵල විශ්ලේෂණයේ දී තහවුරු වී තිබේ.
පසුගිය 2019 ජනාධිපතිවරණය හා සසඳා බලන කල මෙවර ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක වෙත ලැබුණු ඡන්ද ප්‍රමාණය වැඩියෙන් ම ඉහළ ගොස් තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. 2019 ජනාධිපතිවරණයේ දී එම දිස්ත්‍රික්කයෙන් ලැබී තිබූ ඡන්ද 1,375 එනම්, සියයට 0.37ක් වූ ප්‍රමාණය මෙවර ඡන්ද 27,086ක් දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රකාශිත වලංගු ඡන්දවලින් එම දිස්ත්‍රික්කයේ දී සියයට 7.29ක් වන අතර, එම වැඩි වීම 2019 හා සසඳන විට ඡන්ද 25,711කි. වැඩි වීමේ ප්‍රතිශතය සියයට 1,969.9ක් ය. මෙය සියලුම දිස්ත්‍රික්ක අතුරින් ඉහළ ම වර්ධනයක් ලබා ගත් දිස්ත්‍රික්කය බවට පත් වී තිබේ.
එමෙන්ම වන්නි දිස්ත්‍රික්කයෙන් 2019දී ඡන්ද 1,156ක් ලැබී තිබූ අතර, එය එම දිස්ත්‍රික්කයේ වලංගු මුළු ඡන්දවලින් සියයට 0.54කි. මෙවර එම ඡන්ද ප්‍රමාණය 21,412ක් වී ඇති අතර, වලංගු ඡන්දවලින් සියයට 9.86ක් ය. පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 20,256ක් වැඩි වී තිබූ අතර, වැඩි වීමේ ප්‍රතිශතය සියයට 1,852.2ක් ය.
එමෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයෙන් 2019දී ඡන්ද 2,304ක් ලැබී තිබූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.76කි. මෙවර එය 38,832ක් දක්වා වැඩි වී තිබෙන අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.19ක් ය. වැඩි වූ ඡන්ද ප්‍රමාණය 36,528ක් වන අතර, වැඩි වීමේ ප්‍රතිශතය සියයට 1,685.4කි.










