නව බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන් – ඉංජිනේරු පුබුදු නිරෝෂන්

නව බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන් – ඉංජිනේරු පුබුදු නිරෝෂන්

නව බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම්වලට හැකි බව ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සාමාජික ඉංජිනේරු පුබුදු නිරෝෂන් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 15 වනදා කොළඹ මැරියට් හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය විසින් එලි දැක්වූ ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සාමාජික ඉංජිනේරු පුබුදු නිරෝෂන්,

“අපි බලශක්තිය ස්මාට් කළ යුතුයි. එය එක දෙයකට එක ක්ෂේත්‍රයකට ලඝුකරන්න බැහැ. මේ සියල්ලේම ප්‍රතිඵල අවසානයේ ජනතාවට ලැබිය යුතුයි. අපේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් ලෝකෙ කොහේ හරි තැනක පාව්ච්චි කරපු ක්‍රමවේදයන් එලෙසටම ගෙනත් මෙහෙට ඔබ්බලා හොයන්න බැහැ.

බලශක්ති ක්ෂේත්‍රයේ අපිට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය මේ කලාපයේ රටවල් අතර අපි ඒ සඳහා වැඩිම මිලක් ගෙවන රටක් වීමයි. අපේ සැලස්මේ මූලික පියවරක් තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුල් අවුරුදු 05 තුළ මෙම බලශක්ති මිල සාධාරණ තලයකට ගේන එක. ඊළඟ සැලස්ම තමයි අපේ විදුලි බිල එම අවුරුදු 05 තුළදී ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු කිරීම. ඊළඟට අපි බලශක්තියේදී තෙල් මතම යැපෙන තත්වයෙන් ක්‍රමානුකූලව විතැන්න වෙන්න ඕනෑ.

විවිධ දේශපාලන බලපෑම් නිසා අපිට තවම එල්.එන්.ජී. බලාගාරවලට පරිවර්තනය වෙන්න නොහැකි වී තිබෙනවා. අපි සැලසුම් කර තිබෙනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉදිරි වසර 03ක් තුළ ක්‍රමානුකූලව තාප බලාගාර වලින් ලාභදායක එල්.එන්.ජී. බලාගාරවලට යන්න.

අපිට බලශක්ති ප්‍රභවයක් ලෙස සුළංද පාවිච්චි කළ හැකියි. එය ජනතාවට දරාගත හැකි මිලකට ලබාදෙන්න අපි සැලසුම් කර තියෙනවා. දශක දෙකක් එල්.එන්.ජී. බලාගාර අහිමි කර ගත්තා. එසේම තවත් විවිධ බලශක්ති ප්‍රභේද ලෝකයට එමින් පවතිනවා. මේ සියල්ලේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන්.

අපි සැලසුම් කර තිබෙනවා අපේ පාලනයක් යටතේ අවුරුදු 05ක් තුළ සූර්යබලශක්ති ධාරිතාව මෙගාවොට් 2000 දක්වා වර්ධනය කරන්න. දැනට එම ධාරිතාව තිබෙන්නේ වසරකට මෙගාවොට් 150ක පමණ මට්ටමේයි.
අපි බලශක්ති ක්ෂේත්‍රයට එකතු කළ හැකි ලාභදායීම ප්‍රභවය තමයි සුළං. අපේ රජයක් යටතේ අපි ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න සැලසුම් හදා තියෙනවා.

බලශක්ති ක්ෂේත්‍රය ප්‍රජාමූල බලශක්ති ක්ෂේත්‍රයක් ලෙසත් බලශක්තිය සඳහා වාර්ෂිකව රටින් පිටට ඇදී යන අධික ඩොලර් ප්‍රමාණය වෙනුවට රටට ඩොලර් එන සැලස්මක් අපි දැන් කෙටුම්පත් කර තියෙනවා.

අපි මේ සියල්ල සැලසුම් කර තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික සහ විදෙස් අයෝජකයන්ටත් විනිවිදභාවයකින් යුතුව ඒ සඳහා අයෝජනය කරන්නට හැකිවන සහ ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදියි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්