අපි බලශක්ති ක්ෂේත්‍රය ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට පත්කරනවා – අනුර කුමාර දිසානායක

අපි බලශක්ති ක්ෂේත්‍රය ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට පත්කරනවා – අනුර කුමාර දිසානායක

මාලිමාවේ පාලනය තුළ බලශක්ති ක්ෂේත්‍රය ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට පත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරටයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 15 වනදා කොළඹ මැරියට් හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය විසින් එලි දැක්වූ ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක,

“මම මේ නාමයෝජනා භාරදුන් පසුව කරන ප්‍රථම ආමන්ත්‍රණය මෙයයි. බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොවෙයි, සෑම ක්ෂේත්‍රයකම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන අපි කථා කරනවා. නමුත් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය එතනට ගුණාත්මකව උසස් වී තිබේද කියන ප්‍රශ්නය අප හමුවේ බරපතළ ප්‍රශ්නයක් ලෙස තිබෙනවා.

මේ ගෙඹි දේශපාලනය වෙනස් නොකොට එවැනි අනාගතයක් අපට ගොඩනැගිය හැකිද? මේ ජරා මජර දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට වෙන කුමන ක්ෂේත්‍රයකවත් වර්ධනයක් අනාගත දියුණුවක් අත්පත් කර ගත හැකිද? අපේ රටේ එම අලුත් දේශපාලන මානය රැගෙන එන්නේ ජාතික ජන බලවේගය තමයි.

20වැනි සියවසේත් අපේ රටට අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීමට නොහැකි වී තිබෙනවා. මිනිසුන්ට දරාගත හැකි සාධාරණ මිලකට එය සපයන්නට අපට නොහැකි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් විදුලි සැපයුම් ලක්ෂ 10ක් වසරකට විසන්ධි කරනවා.

මේ අර්බුදයට හේතු හැටියට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම ඉදිරිපත් කරන දෙයක් තමයි විදුලිබල මණ්ඩලයේ තිබෙනවායයි කියන ඉංජිනේරු මාපියාව. තව කට්ටියක් කියනව මණ්ඩලයේ අතිරික්ත සේවක සංඛ්‍යාවත් අර්බුදයේ හේතවක් කියලා. තවත් විටෙක කියනව රජය විසින් මෙම ආයතන මෙහෙයවීම තමයි මේ අර්බුදයේ මුල කියලා. එම නිසා රජයේ මැදිහත්වීම අත්හරින්න ඕනෑ කියලා. මේ කිසිවක් මේ අර්බුදයේ ඇත්ත හේතු නෙමෙයි. අද මණ්ඩලයට විදුලි ජනන සැලස්මක් නොමැතිකම විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්නයක්ද? නැතිනම් සේවකයන්ගේ ප්‍රශ්නයක්ද?

මේ ආණ්ඩු මේ අර්බුදයට විසඳුම් හැටියට ගේන්නේ මොනවාද? ඒව තමයි හදිසි මිලදී ගැනීම්. බෙල්ල ළඟටම හිරකරලා අහනවා මේ හැර වෙනත් විසඳුමක් තිබෙනවද කියලා. ඖෂධ අර්බුදයෙදීත් කරන්නේ ඒකමයි. පටිපාටියට පිටින් ක්ෂණික මිල දී ගැනීම් කරනවා. ඒ තුළ විවිධාකාරයේ ගසාකෑම් සිදුකරනවා.

මේ ගොල්ලන්ගේ ඊළඟ විසඳුම තමයි ජනතාවට ලබා දෙන විදුලිය විසන්ධි කිරීම. තව කාලෙකට වර්ෂාව මත තියලා විසඳුම් බලාපොරොත්තු වෙනවා. අපි මේ ප්‍රශ්නය විසඳීම සඳහා ජාතික ජන බලවේගය හැටියට නිශ්චිත ක්‍රමවත් සැලැස්මක් සකස් කර තියෙනවා. අඛණ්ඩව විදුලිය සැපයීම, සාධාරණ මිලකට සැපයීම සහ කාර්යක්ෂමව විදුලිය සැපයීමට අපි සැලසුම් හදා ඉවරයි.

ජනතාව දෙන ජන වරමට වගවීම ඉටුකිරීම තමා අපේ කාර්යභාරය. ජනතාවට පොදුවේ බලශක්තිය සැපයීමේදී අනිකුත් ක්ෂේත්‍රවල මෙන්ම අපේ වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා. ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට එය බලශක්ති ක්ෂේත්‍රය සමගද අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතු බව දේශපාලඥයින් හැටියට අපි තේරුම් ගෙන තිබෙනවා.

අපි අපේ බලශක්ති අවශ්‍යතාවය ඉටුකර ගත යුත්තේ ආර්ථිකය හකුළුවාලමින් නොවේ; එය ප්‍රසාරණය කරමිනුයි. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අතයට ගනුදෙනු බොහොමයි. විදුලියෙන් ආලෝකය දුන්නට බලශක්ති ක්ෂේත්‍රය අඳුරුයි. අපි බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීමට එහි ප්‍රභවයන් වර්ධනය කිරීමටත් බාරදෙන්නේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන විද්වතුන්ටයි. අපි බාරගන්නේ රටටත් ජනතාවටත් ඒ පිළිබඳව දේශපාලනිකව වගවීමයි.

අයුක්ති සහගත බලශක්ති ව්‍යාපෘතිවලට නම් ජාතික ජන බලවේගය කිසිසේත්ම අවසර දෙන්නේ නැහැ. මන්නාරමේ එකම තැන සුළං විදුලි බලාගාර හදා ඉන්දියාවට ශත තුනහමාරටත් ලංකාවට ශත අටහමාරකටත් දෙන්න ගිවිසුම් ගත වෙනවා නම් එය යුක්තිසහගත වෙන්නේ කොහොමද?

අපි තවදුරටත් ස්වෛරී ජාතියක් නොවේ. තීන්දු තීරණ ගැනීමේ බලය අද ලංකා රජයට නැහැ. එම නිසා බලශක්ති ක්ෂේත්‍රයේත් අපි පරාධීනයි. ප්‍රශ්නය තිබෙන්නේ එතන. අපි ජාතික ජන බලවේගයේ රජයක් යටතේ රට ගැන මෙන්ම බලශක්තිය ගැනත් තීන්දු තීරණ ගැනීමේ ස්වෛරී බලය අප නැවත අත්පත් කර ගන්නා බවට ඔබට සහතික වෙනවා.

විදුලි ජනන කාර්යයේදී අපිට දේශීය මෙන්ම විදේශීය අයෝජකයින්ගේ ආයෝජන ලබා ගැනීමට අපි එකඟයි. හැබැයි අපිට ඒ අයගෙන් ඒ සඳහා ඇල්වතුර වීදුරුවක්වත් එපා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසදීමේ විද්‍යාත්මක හා වෘත්තීමය කාර්යය අපි ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන්ට පවරනවා. හැබැයි අපි ඒ අතරම මේ බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙනවා. ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට අපි බලශක්ති ක්ෂේත්‍රය පත්කර දෙනවා.

අද අපේ රටේ පුරවැසියාට කිසිසේත්ම දැරිය නොහැකි මිලකට තෙල් ලීටරයක් ගන්න වෙලා තියෙනවා. මේ සියලුම ක්ෂේත්‍ර අද වසා පැතිර තිබෙන්නේ මේ මජර දේශපාලන සංස්කෘතියයි. අපේ පළමු කාර්ය එය අවසන් කර දැමීමයි.

අපි බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් කර තිබෙන ඉලක්කවලට යන්න ඒ පිළිබඳව වූ විද්වතුන්ටත් ව්‍යවසායකයින්ටත් තම කාර්යය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කරගෙන යාමේ හොඳම පරිසරය නිර්මාණය කරනවා. ඒ ගැන අපි ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගය හැටියට සහතික වෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්