මෙම මාසයට අදාළව පාර්ලිමේන්තු සැසිවාර පසුගිය 20 වෙනි දිනෙන් අවසන් කර තිබුණ ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි ඉතාමත් හදිසියේ යළි රැස් කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව 27 සහ 28 දෙදින තුළ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ආණ්ඩුවෙන් ලැබෙන වාර්තා අනුව 26 වෙනි දින රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර, 27 සහ 28 දෙදින තුළ රනිල් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රචාරක කටයුත්තක් සිදු කර ගැනීමට සූදානම් වන බව හෙළි වී ඇත.
මේ අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි කැබිනට් සංශෝධනයකට ද සූදානමක් පවතින බව ය. 26 වෙනි දින ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශයේදී රට බංකොලෙත් බවින් මුදවා ගත් බව නිවේදනය කිරීමටත්, ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රසාදය පළ කර සුබ පැතීමට රටේ විවිධ ප්‍රදේශවල සන්දර්ශන පැවැත්වීමටත් සැලසුම් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය අනුමත වූ අවස්ථාවේදී ද ඒ වෙනුවෙන් ප්‍රීති ගෝෂා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දිස්ත්‍රික් නායකයින් ක්‍රියා කර තිබිණි.










