ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම පරිහරණය කළ පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොය ගත් හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයා ගැනුණු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩද යන්න අදාළ රස පරීක්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසත් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.
මෙසේ නියෝග කර ඇත්තේ, විමල් වීරවංසගේ පක්ෂ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කළ තේරී පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මගින් යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ, මෙම වෙඩි තැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ, අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලය බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.
වෙඩි තැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන දෙදෙනා සැලසුම්සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
වෙඩි තැබීම සිදු කර දින දෙකකට පසුව එවකට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම, තමා පරිහරණය කරමින් සිටි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාරදී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ. සහකාර පොලිස් අධිකාරි සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, එම පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ නොමැති බවය.
රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ නොමැති බව පවසමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දීමෙන් අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අනාවරණය කර ඇත. ක්‍රියාත්මක තත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරි භාර දුන් පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාව විසින් රජයේ මධ්‍යම අවි ගබඩාවට යවා තිබේ. පසුව එම පිස්තෝලයේ ක්‍රියාත්මක තත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරික්ෂා කර බැලූ බවත් එය ඉතා හොඳින් ක්‍රියාත්මක තත්වයේ පවතින බවට තහවුරු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, සිය පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ තිබියදී එය අක්‍රීය තත්වයේ පවතින බවට අසත්‍යයක් ප්‍රකාශ කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා අවි ගබඩාවට සිය රාජකාරි පිස්තෝලය භාර දීම ප්‍රබල සැකයට හේතුවක් වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බවත් වෙඩි තැබීමේ අපරාධමය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිටත් හඳුනා ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමැතූ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කර ඇත්තේ, වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවය.
සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම පසුගිය 12 වනදා රාත්‍රියේ මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නැති ඔහු මෙලෙස මැලේසියාවට පිටත්ව යන විට සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන්තොටුපොළේදී වෙනත් පුද්ගලයෙකුට භාර දී ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, සිය රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත්ය.
විමල් වීරවංස පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ, 2023 වසරේ සැප්තැම්බර් මස 17 වනදා ය.
මෙම වෙඩි තැබීමට අදාළව CCTV කැමරා 11ක් දත්ත අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩි තැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළි කර ගෙන තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල දෙකෙන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පිස්තෝල දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත මීට පෙර යවා තිබිණි.










