“ලක්ෂයක් ලැබෙයි” කියල හිතපු හීනයට කෝටි බාගයක් ලැබුණු ඒ අපූරු මොහොත!

“ලක්ෂයක් ලැබෙයි” කියල හිතපු හීනයට කෝටි බාගයක් ලැබුණු ඒ අපූරු මොහොත!

කඳුළක්, දැඩි කැපවීමක් සහ නොසිතූ වාසනාවක් අතර මැද අපූරු කතාවක් පසුගියදා අපේ ක්‍රීඩා පිටියෙන් අහන්න ලැබුණා. ඒ කතාව පිටුපස ඉන්නේ අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අරන් දීපු, යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 1500 රන් පදක්කම්ලාභී ලහිරු අචින්තයි.

වයස අවුරුදු 17ක් කියන්නේ සාමාන්‍යයෙන් තාරුණ්‍යයේ දඟකාරකම් මැද ජීවිතේ විඳින කාලයක්. හැබැයි ලහිරු ඒ වයසෙදි තමන්ගේ දහඩිය, මහන්සිය කැප කරලා රට වෙනුවෙන් රත්තරන් පදක්කමක් දිනාගත්තා.

මේ කියන්න යන්නේ ඒ අමතක නොවන ජයග්‍රහණයෙන් පස්සේ ත්‍යාග ප්‍රදානෝත්සවය දවසේ සිද්ධ වුණු, කාගෙත් ඇස්වලට කඳුළු උනන අපූරු සිදුවීමක් ගැනයි.

තරගය ඉවර වෙලා ත්‍යාග දෙන මොහොතේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා ලහිරු ළඟට ගිහින් හරිම සුහදව ප්‍රශ්නයක් අහලා තියෙනවා.

💬 “පුතා, මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයාට තෑගි මුදලක් විදිහට කීයක් විතර ලැබෙයි කියලාද හිතන්නේ?”

තමන් විඳපු දුක සහ කැපකිරීම් මැද ලහිරු හරිම නිහතමානීව සහ අවිහිංසක විදිහට මෙහෙම උත්තර දීලා තියෙනවා.

“ලක්ෂයක් විතර ලැබෙයි සර්…”

ඒක තමයි ඒ අහිංසක ක්‍රීඩකයාගේ එකම බලාපොරොත්තු වුණේ. තමන් කළ ඒ විශිෂ්ඨ මෙහෙයුමේ වටිනාකම තක්සේරු කරන්න තරම්වත් ඒ පුංචි වයස මුහුකුරා ගිහින් තිබුණේ නැහැ.

ලහිරුගේ ඒ උත්තරයෙන් පස්සේ ක්‍රීඩා ඇමතිවරයා දුන්න උත්තරයෙන් ලහිරු විතරක් නෙවෙයි, එතන හිටපු හැමෝම පුදුම වුණා.

“නෑ පුතා… අපි ඔයාගේ මේ දක්ෂතාවයට, කැපවීමට රුපියල් ලක්ෂ 50 ක් (කෝටි භාගයක්) පරිත්‍යාග කරනවා!”

ඒ වචන ටික ඇහුව සැනින් අවුරුදු 17ක ඒ යොවුන් ක්‍රීඩකයාට කරකියාගන්න දෙයක් නැති වුණා. තමන් අහපු දේ අදහගන්න බැරුව, වචන අහිමි වෙලා ලහිරු එතනම ගල් ගැසුණා. ඒක සතුට වැඩිකමට වුණු ගොත ගැසීමක් වගේම හදවතින්ම දැනුණු සතුටක්.

අවසානයේදී පොරොන්දු වූ පරිදිම ලහිරුගේ දක්ෂතාවය අගය කරමින් ඒ රුපියල් ලක්ෂ 50 ක මුදල ඔහුට පිරිනමන්න ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා. මේක හුදෙක් මුදල් තෑග්ගක් විතරක් නෙවෙයි; දුක් විඳලා රටක් ඉස්සරහට ගේන්න දඟලන අපේ අහිංසක දරුවන්ගේ දක්ෂතාවයට නිසි තැන සහ වටිනාකම ලැබුණු කදිම සාක්ෂියක්.

ඉතිහාසය වෙනස් කළ ඒ විශ්වාසය!

එදා පිරිනැමුණු ඒ මුදල් ත්‍යාගයන් වලට උපරිම සාධාරණයක් අද ලහිරු අචින්ත අපේ රටට ගෙනත් දීලා තියෙනවා. ඒ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රීඩකයෙක් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී වාර්තා කළ ඉහළම දක්ෂතාව දක්වමින්, මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගනිමින් ඉතිහාසය අලුත් කරන්නයි මේ පුංචි වීරයා සමත් වුණේ!

මේ විශිෂ්ඨ ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩා ඇමතිතුමා සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් මෙන්න මෙහෙම කියලා තිබුණා:

“අද, Youth Olympic තරඟාවලියක ශ්‍රී ලංකාව දිනූ ප්‍රථම රිදී පදක්කම මීටර් 1500 ඉසව්වෙන් ලහිරු අචින්ත දිනාගනී. මාස පහකට කලින් අමාත්‍යාංශය ලහිරුට ලක්ෂ 50 ක් දුන්නා ක්‍රීඩාව දියුණු කරගැනීමේ අරමුණින්. සමහරු ඇහුවා පොඩි එකකුට ලක්ෂ 50 ක් දුන්නේ ඇයි කියලා. මේ තමයි අපේ රටේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තු. සුබ පැතුම් ලහිරු…”

ඇත්තටම එදා ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට ලහිරුට දුන්න හයියට, පුංචි වයසින්ම ලහිරු අපේ රටට ලොකු ආඩම්බරයක් දිනා දී අවසානයි. ඉදිරියට මේ වගේ තවත් ජයග්‍රහණ රාශියක් දිනා දෙන්න ඔහුට ශක්තිය ලැබේවා කියලා අපි හදවතින්ම සුබ පතමු!

තවත් පාරමි වසන්ති කෙනෙක් නොවී, දවසක යොවුන් ඔලිම්පික් වගේම ඔලිම්පික් රන් පදක්කමක් අපේ මව්බිමට ගේන්න ලහිරුට ලෝකයේ ශක්තිය ධෛර්ය ලැබේවා! ❤️✨

#SportsLanka

Facebook
Twitter
LinkedIn