එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සම්බන්ධයෙන් මේ වනවිට විවිධ ප්රවෘත්ති පළ වෙමින් තිබේ. ඒ මහතාගේ දේශපාලන අනාථභාවය යළිත් වරක් ප්‍රකට කෙරෙමින් ළඟදීම දේශපාලන තීන්දුවක් ගන්න බව එම ප්‍රවෘත්තිවලින් කියැවේ.
ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළකරමින් එජාපයේ සිට එවකට පැවති සන්ධාන ආණ්ඩුවට එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත් අතර ඔහුට අමාත්‍ය ධූරයේ සිටීමට හැකි වූයේ සති දෙකකට අඩු කාලයක් පමණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසුව ඔහු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට උත්සාහ කළද එම පක්ෂය ඔහුව භාරගත්තේ නැත. ඒ අතර පසුගිය මහා මැතිවරණයට මහින්ද පිලෙන් පවා නාම යෝජනා නොලැබුණු අතර එම පිලේ ප්‍රබලයන් සියලුම දෙනා විසින්ද ඔහුව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම පසුබිම තුළ තිස්ස අත්තනායක හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් විවිධ ප්රවෘත්ති පළ කෙරෙමින් පවතී.









