රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කිරීම සඳහා පවසමින් පත් කිරීමට යන ප්‍රජා උපදේශන කමිටුවල නියෝජිතයින් ප්‍රදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු හට බලපෑම් කළ හැකි පසුබිමක් නිර්මාණය කළ හැකි බවට අනතුරු ඇඟවේ.
මෙම අනතුරු ඇඟවීමට මූලික හේතුව වී තිබෙන්නේ අදාළ කමිටු සාමාජිකයින් ඍජුවම අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පත් කරන්නන් වීම සහ එම සාමාජිකයින් අගමැති හරහා ක්‍රියාත්මක කරන ජනාධිපතිගේ දේශපාලන බලය සහිත පිරිසක් වීම නිසා ඍජු දේශපාලන මැදිහත්වීමකට ඉඩක් විවෘත වී තිබෙන බැවිනි.
මේ සමඟම තවත් බරපතළ කරුණු කිහිපයක් හෙළිවී තිබේ. මෙම උපදේශන කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිකුත් කර තිබෙන චක්‍රලේඛයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අමතර අවධාරණයන් කිහිපයක් සිදු කර තිබේ. එනම්, අදාළ කමිටු සඳහා කාර්යාල පහසුකම් ලබාදීම සහ මනා සම්බන්ධීකරණයකින් එම කමිටු සමඟ කටයුතු කළ යුතු බව එම පරිපාලන නිලධාරීන්ට අවධාරණය කර තිබීම ය.
වසරක් සඳහා පිහිටුවන මෙම කමිටු ඍජුවම මැතිවරණ ඉලක්ක කර ගත් රනිල් වික්‍රමසිංහගේ බලතල සහිතව අදාළ සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරන බව පැහැදිලි වී තිබේ. ඒ අනුව පරිපාලන නිලධාරීන්ට බලපෑම් කිරීමේ බලය වක්‍රව ලබාදී තිබේ.










