වසර 36කට ආසන්න කාලයක් එක් පවුලකට එක දරුවකු පමණක් හැදීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට චීන රජය තීරණය කර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ එම තීරණය ඇතුළත් ප්රකාශය පදනම් කරගනිමින් ඒ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ. ඒ අනුව ඉදිරියේදී චීන පවුලකට දරුවන් දෙදෙනෙකු හදා ගැනීම සඳහා අවසරය හිමි වේ.
1979 වසරේ සිට එක් පවුලකට එක් දරුවකු හදා ගැනීමටත් එසේ නොකරන පවුල් සඳහා දඩ මුදල් අයකිරීමටත් චීන රජය කටයුතු කරනු ලැබුවේ එරට තුළ වේගයෙන් ඉහළ ගිය ජනගහනය හේතුවෙනි. චීන කොමියුනිස්ට් පාලනය ගනු ලැබූ එම තීරණය හේතුවෙන් එරට ජනගහනය මිලියන හාරසියයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව පැවසේ. එම තත්වයට ගෙන ඒම සඳහා චීන ආණ්ඩුවට දැඩි නීති රීති පනවමින් කටයුතු කිරීමට සිදු විය.
මේ වනවිට චීනය තුළ වැඩිහිටි ජනගහනය ක්රමයෙන් ඉහළ යෑමට පටන් ගෙන ඇති බවත් එම නිසා ශ්රම බලකාය ඇතුළු කටයුතු සඳහා චීන නීතිය වෙනස් කළ යුතු තත්වයක් වර්ධනය වීම හේතුවෙන් එම තීරණය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. මේ වනවිට ලෝකයේ නැගීඑන ආර්ථිකයට මෙන්ම වසර 2020 පමණ වන විට ලොව ආර්ථික බලවතා බවට චීනය පත්වනු ඇති බවට අනාවැකි පළවී තිබේ.









