කුඩා තේවතු හිමියෝ සාධාරණ මිලක් ඉල්ලා අදත් උද්ඝෝෂණයේ

විදේශීය කසල තේ මෙරටට ගෙන්වා ශ්‍රී ලාංකාවේ තේ ලෙස අපනයනය නතර කිරීමටත්, තේ සහනාධාරය ලබා දෙන ලෙසටත්, තේ කිලෝවකට සාධාරණ මිලක් ලබා දෙන ලෙසටත් ආණ්ඩුවට බල කරමින් කුඩා තේ වතු හිමියන් අද (25) දිනයේදී කළුතර හා කෑගල්ල යන දිස්ත්‍රීක්කවලදී විරෝධතාවයේ නිරත විය.

කොළඹ තේ වෙන්දේසිය තුළ ශ්‍රී ලංකික තේ මිල සීඝ්‍රයෙන් පහත වැටී තිබෙන අතර මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්ත ශාලා 10ක් පමණ වසා දමා ඇති බව පැවසේ. මෙහි බලපෑම මේ වනවිට කුඩා තේවතු හිමියන්ට බලපා ඇති අතර තේ අස්වැන්න මිලදී ගැනීම නතර කර ඇති බැවින් මේ වනවිට තේ දළු කැඩීම නතර කර දමා තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී තේ ගොවියන් සඳහා සහනාධාරයක් ලබා දෙන බව පවසා සිටියත් අගෝස්තු මස සිට තේ සහනාධාරය නතර කර දමා තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පැවැති කුඩා තේවතු හිමියන්ගේ උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්වී සිටියේය.

කළුතර කුඩා තේ වතු හිමියන්ගේ උද්ඝෝෂණය

කෑගල්ල කුඩා තේ වතු හිමියන්ගේ උද්ඝෝෂණය 

Facebook
Twitter
LinkedIn