සර්ප විෂට ප්‍රති විෂක් පේරාදෙණිය සරසවි ඇදුරන් සොයාගනී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් වසර හතරක් පුරා සිදු කළ පර්යේෂණයකින් අනතුරුව සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගැනීමට සමත් වී තිබේ.

මෙම ඖෂධය සොයා ගැනීම පිළිබඳව ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර දැනට ඉන්දියාවෙන් ආනයනය කර භාවිතා කරන ඖෂධවලට වඩා සිව් ගුණයකට වැඩි ප්‍රබලතාවයක් මෙන්ම රෝගියාට ඇති වන අතුරු ආබාධ ප්‍රමාණය 90%කින් පමණ අඩුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපුල් දිසානායක මහතා එහිදී  ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවෙන් ආනයනය කරන ප්‍රතිවිෂ ඖෂධ සඳහා අධික මුදලක් වාර්ෂිකව වැය වන අතර ඉදිරියේදී එම මුදල ඉතුරු කර ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකියාවක් පවතින බව වැඩිදුරටත් පර්යේෂකයින් පෙන්වා දේ. මෙම නව ඖෂධය ලබන වසරේ පෙබරවාරි පමණ වනවිට සායනික පරීක්ෂණ සඳහා තෝරා ගත් රෝහල් කිහිපයක් සඳහා භාවිතා කිරීමට සැළසුම් කර ඇතැයිද ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පර්යේෂකයින් ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn