මහරජුගේ උපන් දින සුභපැතුම්වලට මහා ධනස්කන්ධයක් !

ජනාධිපතිවරයාගේ උපන් දිනය යෙදී තිබෙන නොවැම්බර් 18 වැනි දින සියළුම මුද්‍රිත ප්‍රවෘත්ති පත්‍ර මගින් උපන්දින සුභපැතුම් පළකිරීම සඳහා රුපියල් කෝටි 26ක් දළ වශයෙන් වියදම් කිරීමට නියමිත බව අනාවරණය වේ. මේ අතරින් තනි ආයතනයක් වෙනුවෙන් වැඩිම ගෙවීමක් ලේක්හවුස් ආයතනයේ ප්‍රවෘතිපත්‍ර වෙනුවෙන් ගෙවීමට සූදානම් වන බවත් එය රුපියල් කෝටි පහකට ආසන්න බවත් වාර්තා වේ.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පළවන ප්‍රවෘත්ති පත්‍රවල විශේෂ අතිරේක මුද්‍රණය කරමින් උපන්දින සුභපැතුම් පිරිනමා ගැනීමට සැළසුම් කෙරෙමින් තිබේ. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල, අධිකාරී, පළාත් සභා, පළාත් පාලන ආයතන යන රාජ්‍ය අංශයට අයත් සියළුම අංශවලින් ඉතා පුළුල් හා සංවිධානාත්මක ලෙස මෙම සුභපැතීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ සියල්ල සැළසුම් කර තිබේ. දැනට වාර්තා වන අන්දමට නොවැම්බර් 20 වෙනිදා හෝ ඉන්පසු එළැඹෙන ඉතා ආසන්න දිනයකදී ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනය කිරීමට නියමිතය. එයට පෙර රාජපක්ෂ ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය සැළසුම් කෙරෙමින් පවතී.

ජනාධිපතිවරයා මුදල් ඇමති ධූරයද දරන අතර මහජනයාගෙන් එකතුකර ගනු ලබන බදු මුදල් මේසා විශාල ප්‍රමාණයක් වියදම් කරමින් තමාගෙන් තමාටම සුභපතා ගැනීමට සූදානම් වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


 

Facebook
Twitter
LinkedIn