කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ද්වේශ සහගත පුස් වෙඩිල්ලක් බවත් අනුර දිසානායක මේ ලෝකයේ තියෙන ඔක්කොම දේවල් කියමින් කළ ප්‍රකාශය සදාචාරාත්මක නොවන්නේ යැයිද පොදු සතුරා කවුදැයි තේරුම් ගත යුතු යැයිද ඇමති නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ විශ්වාසභංග විවාදයට එක්වෙමිණි. එහිදී නිමල් සිරිපාලද සිල්වා ඉදිරිපත් කළ අදහස්වල මූලික හරය පහතින් දැක්වේ.
“මේක ද්වේෂසහගතව ගෙනඑන ලද යෝජනාවක්. මැතිවරණයක් ලඟ එනව කියලා ජනතාව කුල්මත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ගතානුගතික දේශපාලනයෙන් අපි ඉවත් වෙන්න ඕනෑ. මේ රටේ දේශපාලන ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් කළා. එතුමා පිළිබඳව අපි ආඩම්බර වෙන්න ඕනෑ. එතුමාට දේශපාලනයට ගේන්න එන්න ඥාතීන් නෑ. දූ දරුවෝ නෑ. දුෂ්කර අවස්ථාවේදී එතුමා රට වෙනුවෙන් දැවැන්ත ගිණිගොඩක් බාරගෙන ඒක නිවලා අපි විතරක් නෙවෙයි තමුන්නාන්සේලාගේ ජීවිතත් ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අමතක කරන්න එපා. අපේ පොදු හතුරා කවුද කියන එක තේරුම් අරගෙන අපේ දේශපාලන ව්‍යාපාරවල අපි කටයුතු කරමු.”










