රාජපක්ෂලා වණයක් කළ මානව හිමිකම් ප‍්‍රශ්නය ඉදිරියේ මේ ආණ්ඩුව හැසිරෙන්නෙත් අඳබාල හැඩයකටයි

“ප‍්‍රශ්නය පටන් ගත්තේ, වර්ධනය වුණේ රාජපක්ෂ පාලනය තුළයි. යුද්ධය අවසන් වන විට තුවාලයක් ලෙස තිබුණු මේ ප‍්‍රශ්නය වණයක් බවට පත්කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. වණයක් බවට පත්කරන විට මැස්සෝ වගේ වටේ කැරකුණේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ වගේ මහත්තුරු. මේ ප‍්‍රශ්නය උග‍්‍රකරපු, ජාත්‍යන්තරය හමුවට ගෙනගිය සැබෑ වගඋත්තරකරුවෝ දැන් කෑගහනවා මෙන්න පාවාදෙනෝ කියලා. ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව පීඩාවට පත්වෙන ජනතාවගේ පැත්තේ ඉඳලා හැමදාම බැලුවා. විචේචන ඉදිරිපත් කළා පමණක් නොව විටින් විට යෝජනා ඉදිරිපත් කළා. ඒ නිසා මේ ප‍්‍රශ්නය අතීතයේ සිට විග‍්‍රහ කරගන්න ඕනෑ. බෑන්කී මූන් දරුස්මාන් කමිටුව හදපු වෙලාවේ අපි ඒ ගැන කතා කළා. අදත් අලුත් තත්වය ගැන කතා කරනවා. මොකද සිදුවෙලා තිබෙන දේ ගැන විද්‍යාත්මක පදනමක සිට ජනතාවට අවබෝදයක් ලබාදිය යුතුයි. රනිල් කියනවා සත්‍ය විමර්ශන කොමිසමක් පත්කරනවා කියනවා එක්සත් ජනපදය කිව්වාම. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන විට ඒක කරන්න බැහැ. නමුත් දැන් සත්‍ය විමර්ශන කොමිසම පත්කළාම ගෞරවය යන්නේ එක්සත් ජනපදයටයි. දෙමළ ජනතාවත් කල්පනා කරනවා එක්සත් ජනපදනය නිසයි ප‍්‍රශ්නය විසඳුණේ කියලා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවත් හැසිරෙන්නේ අඳබාල හැඩේකටයි. එක්සත් ජනපදයේ උපාය මාර්ග හඳුනාගෙන නෙවෙයි කටයුතු කරන්නේ. අධිරාජ්‍යවාදී උගුලෙන් රට භාරගත් නායකයා කියලා කටවුට් ගහනකොට අපිටනම් දුක හිතෙනවා. එක්සත් ජනපදනයත් සමග යාළු වුණාම හැමදේම හරියනවා කියලා මේ නායකයෝ හිතාගෙන ඉන්නවා. එක්සත් ජනපදයට දේශපාලනයක් තිබෙනවා; උපායමාර්ගයක් තිබෙනවා; ඔවුන්ට යාළුවෝ නැහැ. ඔවුන් වැඩකරන්නේ තමන්ගේ වුවමනාවට අනුවයි. මේ ප‍්‍රශ්නය රටක අනාගතයක් සමග ගැටගැසී තිබෙන නිසා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලිවා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ “ජිනීවා: ඊයේ අද සහ හෙට” යනුවෙන් කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී ඊයේ (13) පැවැත්වූ දේශනයේදීය.

එම අවස්ථාවට ජවිපෙ මධ්‍යමකාරක සභිකයින් වන පළාත් සභා මන්ත්‍රී ලක්ෂමන් නිපුණආරච්චි මහතා, පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා සහ පළාත් සභා මන්ත්‍රී සරත් පතිරණ මහතා සහභාගී වූ අතර ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්…

“පහුගිය අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ තිස්වැනි සැසිවාරය පැවැත්වුණා. එහිදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට කලින් ලංකාවේ මානව හිමික්ම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා වෙලා තිබුණා. ඒ අනුව පවත්වපු පරීක්ෂණයේ වාර්තාව පසුගියදා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළා. එම යෝජනාවෙන් තමයි යෝජනා කළේ ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බලන්න දෙමුහුන් අධිකරණයක්  ඕනෑ කියලා. එසේ තිබියදී ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ යෝජනාවක් ඉදිරිපත් කළා. එය සම්මත වුණා. කලින් පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යෝජනාවලට වඩා වෙනස් යෝජනා මාලාවක් තමයි ඔවුන් ඉදිරිපත් කළේ.

ඉන්පසුව දැන් තිබෙන හවුල් ආණ්ඩුව කියන්න පටන් ගත්තා ලංකාව පිළිබඳව තිබුණු බරපතළ හානිකර තත්වය ඉවත් කරලා ලංකාවට ජයග‍්‍රහණයක් ගන්න සමත් වුණා කියලා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා ගිය මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ලංකාවට පැමිණෙන විට කලින් මහින්ද රාජපක්ෂ ගිහින් එනකොට දැකපු චිත‍්‍රයම අපිට දැකගන්න ලැබුණා. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලින් රට බේරාගත් නායකයා කියලා කටවුට් එල්ලලා, සරසලා තිබුණා. විශාල පිරිසක් ඇමතිවරුන් සමග කටුනායකට කැඳවලා තිබුණා. සමහරු දණගහලා වඳිනවා අපි දැක්කා. ජනවාරි 08වෙනිදා පරාජය කරපු දේශපාලන සංස්කෘතියට නැවත පණ ඇවිල්ලා කියලා තමයි කවුරුත් කිව්වේ.

නමුත් මෙම යෝජනාවලින් අධිරාජ්‍යවාදී උගුලෙන් අපේ රට ගැලවිලා නැහැ. ආණ්ඩුව හිතන විදියට ප‍්‍රශ්නය විසඳිලා නැහැ. බොහෝ කරුණු නිවලා සැර බාල කරලා තිබුණට රටේ අනාගතයට හානිකර කරුණු රැසක් එම යෝජනාවල තිබෙනවා. එම යෝජනා අතර පහුගිය කාලයේ ලංකාවේ ආණ්ඩුව කළ දේවල් අගය කිරීමක් තිබෙනවා. ඒ අතර අධිරාජ්‍යවාදීන්ට ඕනකරන දිශාවට මේ ප‍්‍රශ්නය හරවන්න යෝජනා ගණනාවක් ඇතුළත් කරලා තිබෙනවා. දේශපාලන බලය බෙදාහැරීමේ ක‍්‍රියාවලිය අගය කරලා තිබෙනවා. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා කි‍්‍රයාත්මක කරන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. මීට කලින් පැවැති ආණ්ඩුව මේ ප‍්‍රශ්නවලට වගවුණේ නැහැ කියලා සඳහන් කර තිබෙනවා. මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කරුණු කි‍්‍රයාත්මක කරවීමට ලංකා ආණ්ඩුව උනන්දු කරවලා තිබෙනවා. ඒ වගේම ලංකාව තුළ සිදුකරන පරීක්ෂණයකට වෙනත් රටවල විනිසුරුවරු, නීතිඥයෝ, අධිචෝදකයෝ විමර්ශකයින්ගෙන් යුත් උපදේශක කාර්යාලයක් පිහිටුවන්න යෝජනා කර තිබෙනවා. මේ කරුණු සැලකිල්ලට ගත්තාම අපිට කියන්න පුළුවන්, ලංකාව අනතුරෙන් මිදිලා නැහැ කියලා. එනිසා ආණ්ඩුව පෙන්වන්න හදනවානම් ජිනීවා යෝජනා රටේ ජයග‍්‍රහණයක් කියලා එය කිසිසේත්ම සිදුනොවන දෙයක්.

අපේ රටේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් ජාත්‍යන්තර ප‍්‍රජාව අතරට ගිහින්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහින් එහිදී යෝජනා කිහිපයක් සම්මත වෙලා, පරීක්ෂණ කමිටු පත්කරලා, පරීක්ෂණ පවත්වලා, වාර්තා ඉදිරිපත් කරලා ඒ මත පදනම්ව යෝජනා ඉදිරිපත් කිරීමම රටක් ලෙස ලංකාව ලබපු පරාජයක්. ජනතාව ලබපු පරාජයක්; අපකීර්තියක්. මොකද අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නය විසඳා ගැනීමේ වගකීම තිබෙන්නේ අපිටයි. අපි එය විසඳානොගත් නිසා තමයි දැන් අධිරාජ්‍යවාදීන් ඇඟිලි ගහන ප‍්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ආණ්ඩුව මෙම යෝජනා ජයග‍්‍රහණයක් කියන අතරේ අනෙක් පැත්තෙන් පරාජයට පත්වූ රාජපක්ෂ කල්ලිය කෑගහනවා රට පාවාදුන්නා කියලා. රාජපක්ෂ කල්ලියට අනුව නම් ඒ අය රට පාලනය කළ කාලේ ලංකාවේ මොකුත් වෙලා නැහැ. පහුගියදා පැවැත්වුණු තිස්වෙනි මානව හිමිකම් සැසිවාරයේදී තමයි පාවාදීම් හැමදෙයක්ම සිදුවෙලා තිබෙන්නේ. නමුත් හැමදෙනාම දන්නා පරිදි මේ ප‍්‍රශ්නය පටන් ගත්තේ, වර්ධනය වුණේ රාජපක්ෂ පාලනය තුළයි. යුද්ධය අවසන් වන විට තුවාලයක් ලෙස තිබුණු මේ ප‍්‍රශ්නය වණයක් බවට පත්කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. වණයක් බවට පත්කරන විට මැස්සෝ වගේ වටේ කැරකුණේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ වගේ මහත්තුරු. මේ ප‍්‍රශ්නය උග‍්‍රකරපු, ජාත්‍යන්තරය හමුවට ගෙනගිය සැබෑ වගඋත්තරකරුවෝ දැන් කෑගහනවා මෙන්න පාවාදෙනෝ කියලා. අපිට පැහැදිලියි ඒ අයට අත්වෙලා තිබෙන ඉරණම. පරාජයට පත්වෙලා, අවතැන් වෙලා, අනාථවෙලා යනඑනමං නැති වෙලා ඉන්න වෙලාවක එල්ලෙන්න මොකක් හරි  ඕනෑ වෙලා තිබෙනවා. ඒ අය දැන් ජිනීවා සාකච්ඡා කියන අම්බලමට එකතු වෙලා. මේ ප‍්‍රශ්නය සැබෑ ලෙස තේරුම්ගෙන මේ ප‍්‍රශ්නය විසඳාගන්න ඕනෑ නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක්වී ආණ්ඩුවට බලපෑමක් කරන්න අවබෝධයක් දැක්මක් තිබිය යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව පීඩාවට පත්වෙන ජනතාවගේ පැත්තේ ඉඳලා හැමදාම බැලුවා. විචේචන ඉදිරිපත් කළා පමණක් නොව විටින් විට යෝජනා ඉදිරිපත් කළා. ඒ නිසා මේ ප‍්‍රශ්නය අතීතයේ සිට විග‍්‍රහ කරගන්න ඕනෑ. බෑන්කී මූන් දරුස්මාන් කමිටුව හදපු වෙලාවේ අපි ඒ ගැන කතා කළා. අදත් අලුත් තත්වය ගැන කතා කරනවා. මොකද සිදුවෙලා තිබෙන දේ ගැන විද්‍යාත්මක පදනමක සිට ජනතාවට අවබෝදයක් ලබාදිය යුතුයි.

එක්සත් ජානපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්ට අනෙක් රටවල් පිළිබඳව යොදාගන්නා උපායමාර්ගයක් තිබෙනවා. ලංකාවේ වගේ රටවල අභ්‍යන්තර ප‍්‍රශ්න පාවිච්චි කරමින් තමන්ගේ අරමුණු ඉටුකරගන්න ඒ රටවල්වලට මැදිහත් වෙනවා. දුර්වල රටවල්වලට ඇතුල් වෙලා ඔවුන් තමන්ගේ ආර්ථික, දේශපාලන, යුදමය න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට නගන්න උත්සහ කරනවා. ස්වෛරී රටකට හේතුවක් නැතිව අධිරාජ්‍යවාදීන්ට ඇතුල් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔවුන් රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න ඒ සඳහා යොදාගන්නවා. රටක පාලකයින්ට තමන්ගේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසඳගන්න බැරිවුණාම ඒක අධිරාජ්‍යවාදීන් විසින් පාවිච්චි කරගන්නවා. ඇමරිකා එක්සත් ජනපදය එන්නේ අපේ රටේ මානව හිමිකම් ඇත්තටම රැකලා දෙන්න කියලා සමහරු හිතනවා. ඒක වැරදි සිතුවිල්ලක්. ඇමරිකාවට අපේ රටේ මානව හිමිකම් ප‍්‍රශ්න විසඳලා දෙන්න වුවමනාවක් නැහැ. ලෝකයේ කෙහෙද එක්සත් ජනපදය මානව හිමිකම් රැකලා තිබෙන්නේ. යුද අවි තිබෙනවා කියලා ඉරාකයට ඇතුල් වෙලා අද මුළු ඉරාකයම යුදපිටියක් බවට පත්කරලා තිබෙනවා. ඉරාකයට ඇතුල් වෙන්න සදාම් හුසේන් ඇමරිකාවට පාර කපලා දුන්නා. ඒ නිසා තමයි අපි කියන්නේ සදාම් හුසේන්ලා තවත් මේ ලෝකයට  ඕන නැහැ කියලා. ඊළඟට ඇමරිකාව න්‍යෂටික අවි තිබෙනවා කියලා ඉරානයට ඇතුල් වෙන්න උත්සහ කළා. නමුත් ඉරානය වෙනත් රටවල් සමග එක් වී එම උත්සහය වළක්වාගත්තා. ඉන්පසුව ඇමරිකාව සිරියාව එරෙහිව කැරලිකරුවන් නිර්මාණය කරලා සිරියානු ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරමින් ඉන්නවා. අයි.එස්.අයි.එස්. කල්ලිය නිර්මාණය කළේ ඇමරිකාවයි. ලිබියාවේ ආණ්ඩුව පෙරළුවා. අද ලිබියාවේ සාමය නැහැ. ඇමරිකාව අතදාපු මැදපෙරදිග කිසිදු රටක අද සාමය සතුට නැහැ. මානව හිමිකම් රැකිලා නැහැ. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදය එන්නේ මානව හිමිකම් රකින්න නොව ප‍්‍රශ්න පදනම් කරගෙන රටකට ඇතුල් වෙන්න පාරකපාගන්නයි. ඇතුල් වුනාට පස්සේ එම රටවල් මහා විපතක් බවට පත්කරනවා. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ට අතවැනීම හෝ ඔවුන්ගේ මැදිහත්වීමට හොඳ කියන්න යෑම අනවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ප‍්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපි හදාගන්න ඕනෑ කියලා.

ලංකාවේ උපායමාර්ගය විය යුත්තේ මොකක්ද? ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට ඇතුල් වෙන්න මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ ප‍්‍රශ්න යොදාගන්නවානම් ලංකාවේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ එවැනි ප‍්‍රශ්න ඇතිවීම වැළැක්වීමයි. නමුත් අපේ ආණ්ඩු අධිරාජ්‍යවාදීන්ට එන්න මාර්ගය විවෘත කරලා දුන්නා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට උපායමාර්ගයක් තිබුණේ නැහැ. තිබුණු එකම කි‍්‍රයාමාර්ගය වුණේ දවස ගෙවාගැනීම සහ ප‍්‍රශ්නය මගහැර යෑමයි. මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන කොට බොරු පොරොන්දු ටිකක් දීලා එහෙත් රවටනවා මෙහෙත් රවටනවා. හරියට වැස්සක් එනකොට ඩෙංගු මතක් වෙනවා වගේ. ඊළඟට මහින්ද රාජපක්ෂගේ ඡන්ද කරන මැෂින් එක බවට පත්වුණේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් ප‍්‍රශ්නය හිඟන්නාගේ තුවාලය බවට පත්කර ගත්තා. ඒ කාලේ විමල් වීරවංශලා, දිනේෂ් ගුණවර්ධනලා ඒ වැඩවලට පාවාඩ එලුවා. දැන් ඒ ගැන කතාකරන්න ඔවුන්ට අයිතියක් නැහැ. එම විත්තකාරයන්ට බැහැ, පැමිණිලිකාරයන් බවට පත්වෙන්න. පවුලක බලය වෙනුවෙන් රටක් පාවාදී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ සමඟ පැරදුණු කණ්ඩායමට අනුව මේ ප‍්‍රශ්නයේ අතීතයක් නැහැ. තිබෙන්නේ වර්තමානය පමණයි. වර්තමාන ආණ්ඩුව අනුව මේ ප‍්‍රශ්නයට වර්තමානයක් නැහැ, තිබෙන්නේ අතීත්යක් පමණයි. නමුත් අපි දකින විදියට මේ ප‍්‍රශ්නයට අතීතයක් තිබෙනවා; වර්තමානයක් තිබෙනවා; ඒ වගේම නපුරු බියකරු අනාගතයක් තිබෙනවා. 2009 මැයි මාසයේ 19වෙනිදා යුද්ධය අවසන් වුණා. යුද්ධය කියන්නේ ඛේදවාචයක්. කවුරුත් දිනන්නේ නැහැ. ජීවිත දේපළ හානි වුණා. පවුල් කැඩුනා. ළමයින් අනාථ වුණා. කනාත්වන් ස්වාමිපුරුෂයන් නැතිව අනාථ වුනා. විශාල පිරිසකගේ අතපය කැඩුනා. ඒ ඇතිවුණු ප‍්‍රශ්න විසඳලා එම සියලු දෙනාගේ දුක බෙදාහදා ගන්නවා වෙනුවට පිරිසක් දුකෙන් වේදනාවෙන් ඉන්න අතරේ මහින්ද රාජපක්ෂලා කළේ බාල් නටමින් පාටි දාන එකයි. ඒ කාලයේ මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසිවාරයක් පැවැත්වුනා. එම සමුළුවට ලංකාවේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධ යෝජනාවක් ගේන්න සූදානම් වුණා. එවිට ලංකාවේ ආණ්ඩුව 2009 මැයි 22 මානව හිමිකම් සැසිවරයට ‘මානව හිමිකම් රැකීමට සහ ප‍්‍රවර්ධනයට ලංකාවට සහාය වීම’ යනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. එය රටවල් 13ක සහාය අරගෙන සම්මත වුනා. මානව හිමිකම් රැකීමටත්, අවතැන් වූවන් ඇතුළු ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමටත්, පුණරුත්ථාපනය කිරීමටත් ලංකාවේ ආණ්ඩුව එකඟ වුණා. ඒ වගේම ආණ්ඩුව නිතිපතා ගන්නා කි‍්‍රයාමාර්ග මානව හිමිකම් කොමිසමට දැනුම්දීමට පොරොන්දු වුණා. පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ලංකා ආණ්ඩුව සහ අදාල එක්සත් ජාතීන්ගේ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වුණා. ඒ වගේම දරිද්‍රතාවයට එරෙහිව ආර්ථික වශයෙන් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය දෙන්න කියලා ලෝකයෙන් ඉල්ලා සිටියා. නමුත් ලංකාවේ ආණ්ඩුව තමන්ම දාපු යෝජනාවට අනුව වැඩ කළේ නැහැ. 2009 මැයි 23 ලංකාවට ආ බෑන් කී මූන් සමග ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සහයෝගයෙන් වැඩ කරන්න පොරොන්දු වුණා. එහෙම එකඟ වෙලා ඡන්ද කර කර පිස්සු කෙළියා. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට උතුරේ අර්ධ මිලිටරි පාලනයක් හැදුවා. ජනතාව හිරගෙයකට ගාල් කළා. අපිට පක්ෂයක් විදියට උතුරට යන්න බැරිවුණා. රහස් පොලීසිය අපි පස්සේ පැන්නුවා. එලෙස ලංකාවේ ආණ්ඩුව විශ්වාසය කැඞීම විසින් අධිරාජ්‍යවාදීන්ට අවස්ථාව හැදුවා අපේ රටට ඇතුල් වෙන්න. බෑන් කී මූන් තීරණය කළා දරුස්මාන් කමිටුව පත්කළා. 2010 මාර්තු මාධ්‍ය හමුවකදී බෑන් කී මූන් කිව්වා ලංකාවේ ආණ්ඩුව පොරොන්දු කඩපු නිසා මේ කමිටුව පත්කරන්න තමන්ට සිදුවුණා කියලා.

මහින්ද රාජපක්ෂ ඒ වෙනුවට 2010 මැයි 15වෙනිදා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පත්කළා. ඊනියා දේශපේ‍්‍රමීන් කණ්ඩායම වෙන රංගනයක් ආරම්භ කළා. වීරවංශ මහත්තයා දින දෙකේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා බෑන්කී මූන්ගේ කමිටුව අකුළ ගන්න කියලා. අන්තිමට කමිටුව ඉවත් කළෙත් නැතිව උපවාසය අවසන් වුණා. මේ ඒ විදියට සිදුවෙද්දී පිටරටවලදී බෑන්කී මූන්ගේ කමිටුව සමග පාටි දැම්මා. එවකට ලංකාවේ මානව හිමිකම් නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහත්තයා දරුස්මාන්ට ලිපියක් ලියනවා 2010 දෙසැම්බර් මාසයේ දිවා භෝජන සංග‍්‍රහයකට කැමැත්ත පළ කරලා. ලියුම් හුවමාරු කළා. ලංකාවේ ජනතාවගේ මුදල්වලින් භෝජන සංග‍්‍රහ පැවැත්වුවා. ඒ අතර 2011දී උගත් පාඩම් කොමිසමේ වාර්තාව එළියට ආවා. ඒක ලංකාවට හොඳ එකක් නෙවෙයි. ජාත්‍යන්තරය බලපෑම් කළා එම වාර්තාව එළියට දාන්න කියලා. 2011 දෙසැ. 11 එම වාර්තාව ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නිමල් සිරිපාල කිව්වා වාර්තාවට අනුව තිබෙන සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වලා වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට ආණ්ඩුව තරයේ විශ්වාස කරනවා කියලා. ඊට පස්සේ මොකුත් වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මහින්ද සමරසිංහ විදේශ ඇමතිවරයා ලෙස මානව හිමිකම් කොමිසමේ සමුවේදී 2012 පෙබරවාරි මාසයේදී කතාවක් කරමින් කියනවා උගත්පාඩම් කොමිසමේ වාර්තාවට අනුව කටයුතු කරනවා කියලා. පරීක්ෂණ සඳහා රට තුළ හමුදා අධිකරණයක් පිහිටුවා තිබෙන බව කිව්වා. පරීක්ෂණත් නැහැ. අධිකරණත් නැහැ. ප‍්‍රකාශයක් කරලා ආවා විතරයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ දෙබිඩි ආකාරය අතිශයින්ම පිළිකුල් සහගතයි. රැවටීමේ දේශපාලනය පවත්වාගෙන ගියා වීරවංශලා එකතුවෙලා. ඒක තමයි අද පත්තුවෙලා තිබෙන්නේ. ‘ජිනීවා කවුද මට’ කියලා මහින්ද රාජපක්ෂ රටට කියලා අධිරාජ්‍යවාදීන් ඉස්සරහා දණ ගැහුව්වා. මේ හැමදේම එකතු කරලා තමයි මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව තීන්දු ගන්නේ.

එතනින් නොනැවතී ආණ්ඩුව 2012 ජූලි 28 වෙනිදා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට කි‍්‍රයාකාරී සැලැස්මක් හදලා ඇමති මණ්ඩලය විසින් අනුමත කරගත්තා. ඒ කාලේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ආණ්ඩුව විසින් ගෙන්වා ගත්තා. ඇය ලංකාව පිළිබඳව සොයා බලා පුවත්පත් සාකච්ඡාවක් කළා. ලංකාව පරීක්ෂණයක් නොකරන තරමට ජාත්‍යන්තර පරීක්ෂණයක් එනවා කියලා ඇය අනතුරු ඇඟෙව්වා. ඒ අනුව තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් එන්නේ. ජාත්‍යන්තර පරීක්ෂණය කියන්නේ ඉල්ලන් කාපු වැඩක්. අවශ්‍ය වෙලාවේ නිවැරදි තීරණ නොගෙන මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා ඇදගෙන යෑමේ වගකීම මහින්ද රාජපක්ෂලා භාරගත යුතුයි. එදා පත්කළ ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුවේ වාර්තාව තමයි 2015 අගෝස්තු මාසයේදී එළිදක්වලා තිබෙන්නේ.

මහින්ද රාජපක්ෂ උත්සහ කළේ අපේ රටේ ජනතාවත් ජාත්‍යන්තර ප‍්‍රජාවත් රවටන්නයි. අපේ රටේ ජනතාව නම් රැවටුණා. නමුත් මහින්ද රාජපක්ෂට ජාත්‍යන්තර ප‍්‍රජාව රවටන්න පුළුවන්ද? මානව හිමිකම් කවුන්සිලය රවටන්න පුළුවන්ද? උතුරේ ජනතාව යුද්ධයෙන් පසුව විශාල පීඩාවක සිටියා. අවතැන් වූවන්ගේ ප‍්‍රශ්නයට උත්තරයක් නැහැ. අතුරුදහන් වූවන්ගේ ප‍්‍රශ්නයට තවමත් උත්තරයක් නැහැ. මූලික ප‍්‍රශ්න විසඳුවේ නැහැ. ජීවත් වෙන්න වන්දියක් ගෙව්වේ නැහැ. මොකද ඒ ජනතාවගේ වරදක් නැහැ. ප‍්‍රශ්නය නිර්මාණය කරපු පාලකයෝ ජනතාවට වන්දියක් ගෙවිය යුතුයි. මානව හිමිකම් කොමිසම ඒ ප‍්‍රශ්න තමන්ට  ඕන විදියට පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් මැරුවා. දැඩි මාධ්‍ය මර්දනයක් ගෙනගියා. සුදුවෑන් සංස්කෘතියක් නිර්මාණය කළා. ප‍්‍රගීත් එක්නැලිගොඩ, ලලිත්, කුගන් වගේ විශාල පිරිසක් පැහැරගත්තා. අයිතිවාසිකම් ඉල්ලපු ජනතාවට වෙඩි තියලා මැරුවා. අධිකරණයට අත තිබ්බා. ශිරානි බණ්ඩාරනායක බොරු චෝදනා දාලා ගෙදර යැව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ යාලූවා දාගත්තා. ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා අධිරාජ්‍යවාදීන්ට මැදිහත් වෙන්න පාර කැපුවා. 2009 යුද්ධය අවසන් වන විට ගොඩක් රටවල් ලංකාව වෙනුවෙන් පෙනී සිටියා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව විදේශ රටවල්වලට අපි වෙනුවෙන් පෙනී ඉන්න බැරි තත්වයක් නිර්මාණය කළා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ උදලාගම කොමිසම, මැක්ස්වෙල් පරණගම කොමිසම වගේ කොමිසන් කිහිපයක් පත්කළා ලංකාව තුළ සිදුවූ සිදුවීම් කිහිපයක් ගැන සොයන්න. මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වන තුරුත් එම කොමිසන්වල වාර්තා එළිදැක්වුණේ නැහැ. ඒ කොමිසන්වලට විදේශ නියෝජිතයින් ගෙන්වා ගත්තා. රතුපස්වල ඝාතනය පිළිබඳව වාර්තාව එළියට දැම්මේ නැහැ. මහින්ද රාජපක්ෂ තරම් අධිරාජ්‍යවාදයට අපේ රටට මැදිහත් වෙන්න පාර කපපු නායකයෙක් තවත් නැහැ. ඒවට පාවඩ එළපු පන්දම් අල්ලපු අය තමයි අද බොරුවට කෑගහන්නේ.

දැන් මොකද වෙලා තියෙන්නේ. එක්සත් ජනපදය ගෙනා යෝජනාව පිළිගත්ත එක මේ ආණ්ඩුව කළ මෝඩ වැඩක්. එය පිළිගන්න අගය කරන්න ඕන යෝජනා මාලාවක් නොවේ. ඒ යෝජනාව රස තවරලා විෂ එවලා තියෙන්නේ. එක්සත් ජනපදය යෝජනාවක් ගේන තෙක් ලංකාවේ ආණ්ඩුව මොකද කළේ. අපි ලෑස්තියි මානව හිමිකම් ආරක්ෂා කරන්න, ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න කියලා ආණ්ඩුව අලූතෙන් යෝජනාවක් දැම්මා නම් ඒක රටටත් ජනතාවටත් ගෞරවයක්. රනිල් කියනවා සත්‍ය විමර්ශන කොමිසමක් පත්කරනවා කියනවා එක්සත් ජනපදය කිව්වාම. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන විට ඒක කරන්න බැහැ. නමුත් දැන් සත්‍ය විමර්ශන කොමිසම පත්කළාම ගෞරවය යන්නේ එක්සත් ජනපදයටයි. දෙමළ ජනතාවත් කල්පනා කරනවා එක්සත් ජනපදනය නිසයි ප‍්‍රශ්නය විසඳුණේ කියලා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවත් හැසිරෙන්නේ අඳබාල හැඩේකටයි. එක්සත් ජනපදයේ උපාය මාර්ග හඳුනාගෙන නෙවෙයි කටයුතු කරන්නේ. අධිරාජ්‍යවාදී උගුලෙන් රට භාරගත් නායකයා කියලා කටවුට් ගහනකොට අපිටනම් දුක හිතෙනවා. එක්සත් ජනපදනයත් සමග යාළු වුණාම හැමදේම හරියනවා කියලා මේ නායකයෝ හිතාගෙන ඉන්නවා. එක්සත් ජනපදයට දේශපාලනයක් තිබෙනවා; උපායමාර්ගයක් තිබෙනවා; ඔවුන්ට යාළුවෝ නැහැ. ඔවුන් වැඩකරන්නේ තමන්ගේ වුවමනාවට අනුවයි. මේ ප‍්‍රශ්නය රටක අනාගතයක් සමග ගැටගැසී තිබෙන නිසා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා.

2017 මාර්තුවල මානව හිමිකම් කොමිසමේ 34වැනි සැසිවාරය පැවැත්වීමට නියමිතයි. එහිදී මේ යෝජනාවට අනුව වැඩකරලා ලංකාව ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. දැන් බැඳිලා ඉන්නේ. හොඳ දේවල් නම් කළත් ප‍්‍රශ්නයක් නැහැ නමුත් මේ යෝජනාවල නරක දේවලූත් තිබෙනවා. ලංකාවේ නෛතික කි‍්‍රයාවලියකට විදේශ කණ්ඩායමක් සම්බන්ධ කරගැනීම පිළිබඳව අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා. එන්නේ තාක්ෂණික සහය දීමට කියලා තිබෙනවා. නමුත් රිංගුවට පස්සේ ආපසු එළවන්න බැහැ. ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව රට තුළ පරීක්ෂණයක් කරන්න ආණ්ඩුවට බැරිනම් මොකටද එහෙම ආණ්ඩු. මේ ප‍්‍රශ්නය වර්තමානයේදීත් තිබෙන්නේ අතීතයේ තිබුණ තැනමයි. නැවතත් ජාත්‍යන්තරයට පාර කපා තිබෙනවා. එනිසා මෙතන බරපතළ තත්වයක් තිබෙනවා. මෙහි තිබෙන අනතුරුදායක තත්වය වහන්න මේ ආණ්ඩුවත් ජනතාවට එක එක කතා කියමින් ඉන්නවා. දැන් පියවරෙන් පියවර බෙල්ලට තොණ්ඩුව තද වෙමින් තිබෙනවා. මේ අනතුරෙන් ගැලවෙන්න දැනුත් අවස්ථාවක් තිබෙනවා. මේ ප‍්‍රශ්නයට ජනතාව සමග එකතුවෙලා උත්තර සෙවිය යුතුයි. ඒ සඳහා මේ රටේ ජනතාව එකට ඉන්න ඕනෑ. සතුටින් ඉන්න ඕනෑ. අධිරාජ්‍යවාදීන් රටවල්වලට ඇතුල් වුණේ රටේ ජනතාව අතර ගැටුම් ඇතිවුනාමයි.

ජිනීවා උගුලෙන් ගැලවෙනවානම් උත්තරයක් තිබෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ග හඳුනාගෙන එය වැළැක්විය යුතුයි. රට තුළ මානව හිමිකම් රැකිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මානව හිමිකම් කඩවීම පිළිබඳව රටතුළ නිවැරදි, පිළිගත හැකි, විනිවිද පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක කරන්න අපිට හැකියාව තිබෙනවා. එවැනි පරීක්ෂණයක් අපේ රටේ අධිකරණයට, නීතිපති දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් කියලා ජාත්‍යන්තරයට ඔප්පු කර පෙන්වන්න  ඕනෑ. නිතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය දේශපාලනයට අනුව නොව නීතියට අනුව වැඩ කළ යුතුයි. අගතියට පත්වූ අයට යුක්තිය ඉටුවිය යුතුයි. වැරදිකරපු අයට දඩුවම් දීමෙන් පමණක් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගකීම ආණ්ඩුවට තිබෙනවා. දැන්වත් ආණ්ඩුව උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුව තිබෙනවා. ප‍්‍රශ්නය විසඳිය හැක්කේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමෙන් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළා. යුද්ධය අවසන් වී සතියක් ඇතුළත ආණ්ඩුවට කරුණු 14කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කළා. උතුරු නැගෙනහිර ජනතාවට සහන සැලසීමට කාර්ය සාධක බලකායක් ඇති කිරීම, අවතැන් ජනතාව යළි පදිංචි කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් අපි යෝජනා කළා. උතුරේ ජනතාවගේ හිතේ තුවාලය සනීප කරන්න අපි වැඩපිළිවෙළක් යෝජනා කළා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ වැඩපිළිවෙල හිතාමතා වැළැක්වුවා. ඉන්පසු 2011 මැයි 01 වෙනිදා තවත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය ගැන, ඔවුන්ගේ ජීවන තත්වය ගොඩනැගීම පිළිබඳව දිගින් දිගටම ආණ්ඩුවේ අවධානය යොමු කළා. නමුත් රාජපක්ෂ පාලනය ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි 2013 ජූනි මාසයේදී ජාතික ගැටලූව විසඳීම සඳහා ප‍්‍රවේශයක් යනුවෙන් තවත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. පළාත් සභා වෙනුවට ජනතා සභා යෝජනා කළා. ව්‍යවස්ථා වෙනසක් යෝජනා කළා. භාෂා ප‍්‍රශ්නය විසඳන්න යෝජනා ගෙනාවා. වෙනස්කම් වැළැක්වීමේ කොමිසමක් යෝජනා කළා. සත්‍ය විමර්ශන කොමිසමක් පත්කරන්න යෝජනා කළා. උතුරේ ජනතාව වෙනුවෙන් රූපවාහිනී ආයතනයක් ආරම්භ කරන්න යෝජනා කළා. මේවා කළේ නැහැ. මෙම යෝජනා අපේ ජාතික වැඩපිළිවෙල වූ හෘද සාක්ෂියේ සම්මුතියටත් ඇතුළත් කළා. ඒ විතරක් නෙවෙයි වර්තමාන ආණ්ඩුවට පසුගිය 2015 අගෝස්තු මාසයේ භාරදුන් කඩිනම් ප‍්‍රතිසංස්කරණ සඳහා යෝජනා මාලාවටත් ඇතුළත් කළා. උතුරේ ජනතාවට අවශ්‍ය යුක්තිය ඉටු කරගැනීමයි. ඔවුන්ට සතුටින් ජීවත් වෙන්න අස්ථාවක්  ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සියලූ දෙනාටම ඒ අවශ්‍යතාවය තිබෙනවා.

බොරු කරන එක දැන්වත් නතර කළ යුතුයි. මේ බරපතළ වෙලා තිබෙන ප‍්‍රශ්න විසඳලා සාමාන්‍ය ජනතාවට සතුටින් ජීවත් වෙන්න අවස්ථාවක් ගොඩනගා දිය යුතුයි. මේ ප‍්‍රශ්නය විසඳනවානම් ආණ්ඩුව කළ යුත්තේ අධිරාජ්‍යවාදී උපක‍්‍රම හදුනාගෙන කටයුතු කිරීමයි. අධිරාජ්‍යවාදයට යටවෙන එක නෙවෙයි. පුරවැසියන් එක්කරගෙන මේ ප‍්‍රශ්නය රට තුළම විසඳාගත යුතුයි. මානහ හිමිකම් කොමිසම ලෙස හෝ, එක්සත් ජනපදය ලෙස හෝ ආරක්ෂක මණ්ඩලය ලෙස හෝ වෙනත් රටවල්වලට ජාත්‍යන්තරය මැදිහත් වෙලා ප‍්‍රශ්න විසඳලා නැහැ. අවුල් කරලා තියෙන්නේ. අධිරාජ්‍යවාදී රටවල් අද ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ අය මුදල් හොයන්නේ ආයුධ වෙළදාමෙන් සහ ඖෂධ වෙළදාමෙනුයි. ආයුද විකුණන රටවල් යුද්ධ නිර්මාණය කරනවා. ඖෂධ විකුණන රටවල් අනෙක් රටවල ලෙඩ පතුරනවා. ඒ නිසා ඒ මිත්‍යාවලින් මිදෙමු. මේ ප‍්‍රශ්නය තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යොදානොගෙන කටයුතු කළ යුතුයි. ජනතාව ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි යුක්තිය ඉටුකිරීම භාරගත යුතුයි කියලා. එතනින් නොනැවතී මේ පිරිහිණු, දුබල වුණු, කුණුවෙච්ච ධනපති ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ජනතාව සතුටින් තැබිය හැකි සමාජවාදී සමාජක‍්‍රමයක් වෙනුවෙන් සටන් වැදිය යුතුයි.”


Facebook
Twitter
LinkedIn