සිරියාව තුළ ඇමෙරිකානු රුසියානු සීතල යුද්ධයක්!

රුසියානු ගුවන් හමුදාව සතියක පමණ කාලයක් තුළ සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරයන්ගෙන් අයි.එස්. ත්‍රස්තයින්ට බරපතල හානි සිදු වී තිබෙන පසුබිමක් හමුවේ රුසියානු ප්‍රහාර නවත්වන ලෙසට ඇමෙරිකාව හා යුරෝපා සංගමයෙන් රුසියාව වෙත බලපෑම් එල්ල කරමින් පවතී.

සිරියාව තුළ අසාද් පාලනයට එරෙහිව අයි.එස්. ත්‍රස්තවාදීන් මෙහෙයවමින් සිටින්නේ ඇමෙරිකාව ප්‍රමුඛ සෞදි අරාබිය, තුර්කිය, ඊශ්‍රායලය ඇතුළු ඇමෙරිකානු ගැති මැදපෙරදිග රටවල් විසිනි. රුසියානු ප්‍රහාර හමුවේ ඇමෙරිකානු සැලසුම් අක්‍රිය වීම ආරම්භ වීමත් සමග මේ වනවිට ඇමෙරිකාව සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත ගුවනින් අවි ආයුද ලබා දීම ආරම්භ කර තිබේ.

ඇමෙරිකාවට අයත් සී-17 මාදිලියට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනිමින් ටොන් 50ක බර අවි ඇතුළු යුද උපකරණ ලබා දී ඇත. රුසියාවට එරෙහිව සෘජුව ක්‍රියාත්මක වීමට නොහැකි ඇමෙරිකාව තමන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලි වෙත අවි ආයුද ලබා දෙමින් රුසියානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට සැරසේ.

සිරියානු අර්බුදය ලෝක දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයකට මේ වනවිට පත්ව තිබෙන අතර රුසියානු ජනාධිපති පූටීන් ප්‍රකාශ කර සිටියේ සිරියාව නිදහස් කර ගැනීම වෙනුවෙන් උපරිම මැදිහත් වීමක් සිදු කරන බවය. මැදපෙරදිග කලාපයෙන් තමන්ගේ ගිලිහෙන ආධිපත්‍ය රැකගැනීමට ඉදිරියේදී ඇමෙරිකාව තවදුරටත් ත්‍රස්තවාදය පොෂණය කරමින් උත්සාහ ගනු ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn