පිරිසිදු පානිය ජලය ඉල්ලා තිස්ස – හම්බන්තොට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිසකට පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබේ.
අද (12) පෙරවරුවේ බඳගිරිය ප්‍රදේශවාසීන් තමන්ට බීමට ලබා දෙන නල ජලය අපිරිසිදු බව පවසමින් පල්ලේමලල මංසන්ධියට රැස්වී තිබේ. පසුව ඔවුන් මාතර – තිස්ස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය දක්වා තිබේ. විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් හටගෙන පසුව පොලිසිය විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විරෝධතාකරුවන් හා ඇතිවූ උණුසුම් තත්වයේදී හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.



Views: 0









