දිනේෂ් දෙයියෙක් – කෝටි 35,700ක වියදමක් කෝටි 700කින් ගෙවලා

පසුගිය වසරේ මාර්තු මස 09 වෙනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනතාව මරණයෙන් බේරා ගත් බව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

එම මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (07) විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුගේ නීතිඥයා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම නඩු විභාගය සම්බන්ධයෙන් අද (08) දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ කර තිබෙන ප්‍රවෘත්තියකින් කරුණු වාර්තා කර තිබේ. “පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් – ඡන්දයකට වඩා ජනතාව මරණයෙන් බේරා ගැනීමට මුදල් වෙන් කළා – අගමැති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි“ යන සිරස්තලයෙන් වාර්තා කර තිබිණි.

එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “ආර්ථික අර්බුදයකට රට ලක්වී තිබෙන අවස්ථාවක 2023 ජනවාරි මාසය වනවිට අත්‍යාවශ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 357ක මුදලක් අවශ්‍යව තිබූ බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆ් මහතා සඳහන් කළේය“ යනුවෙනි.

එම මැතිවරණය පැවැත්වීමට වැය වන සම්පූර්ණ මුදල රුපියල් කෝටි 700ක් පමණ වන බව ඒ වනවිට ගණන් බලා තිබිණි. එම මුදල ද, එකවර පියවිය යුතු නොවන බව මැතිවරණ කොමිසම අතීත ක්‍රියාමාර්ග අනුව පෙන්වා දී තිබිණි. එසේ තිබියදී රුපියල් කෝටි 35,700ක වියදමක් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් උපරිම වශයෙන් වැය වෙන මැතිවරණය කල් දැමූ බව අගමැතිගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මෙන්ම තවත් සංවිධාන සහ පුද්ගලයින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn