
කොළෙම්බියාවේ විශාලතම වාමාංශික ගරිල්ලා සංවිධානය වන ෆාර්ක් ගරිල්ලන් මින් ඉදිරියට කප්පම් ගැනීම් සදහා පුද්ගල පැහැරගැනීම් කිරීමෙන් වැලකී සිටින බව ප‍්‍රකාශ කරයි.
ෆාර්ක් සංවිධානයේ ප‍්‍රධානතම බල අධිකාරිය වන ලේකම් මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇති අතර තමන් බාරයේ සිටින දේශපාලන සිරකරුවන් දස දෙනා ද නිදහස් කිරීමට පියවර ගන්නා බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
තමන් භාරයේ දශකයකටත් වඩා වැඩි කාලයක් සිරගතව සිටි හමුදා භටයන් කිහිපදෙනෙක් නිදහස් කිරීමට ඔවුන් පසුගිය වසරේදී තිරණය කර තිබූ අතර තම සංවිධානයට එරෙහි හමුදා පහරදීම් වැඩි කිරීම හේතුවෙන් ඔවුන් එම තීරණය පසුව වෙනස් කරන ලදි.
දශකයක කාලයක් තමන් භාරයේ රදවාගෙන සිටි රැදවියන් සිව් දෙනෙක් පසුගිය නොවැම්බර් මාසසේදී ඝාතනය කිරිමත් සමග ඊට එරෙහිව නැගී ආ මහජන විරෝධය හේතුවෙන් ෆාර්ක් ගරිල්ලන් මෙම තීරණය ගන්නට ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.









