රැකියා විරහිත උපාධිධාරීන් අමාත්‍යංශ ගොඩනැගිල්ලට පනී!

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ඊයේ (09) දකුණු පළාත් සභා අමාත්‍යංශ සංකීර්ණය තුළට පැමිණ තමන් රාජ්‍ය සේවය සඳහා බඳවා ගන්නා ලෙසට බල කරමින් විරෝධතාවයක නිරත වීමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපාධිධාරීන් 318 දෙනෙකුට ගුරුපත්වීම් ලබා දීමට ඊයේ දිනයේ සූදානම් වූ අවස්ථාවේදී මෙම උපාධිධාරීන් පිරිසද පැමිණ තිබේ. ඔවුන් පළමුව දක්ෂිණපාය ප්‍රධාන පිවිසුම අවහිර කරමින් විරෝධතාවය දක්වා තිබේ. පසුව එම කාර්යාල සංකීර්ණය තුළට පැමිණ පහත මාලයේ රැදී සිටිමින් විරෝධතාවය දක්වා තිබේ.

මෙම අවස්ථාවට උපාධිධාරීන් සියයකට අධික පිරිසක් පැමිණ සිටි අතර විරෝධතාවයේ නිරත වූවන්ගෙන් කිහිප දෙනෙකුට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී තිබේ. එහිදී අධ්‍යාපන ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ ඉදිරියේදී තවත් උපාධිධාරීන් 700 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවය. එම පොරොන්දුවත් සමග විරෝධතාවයේ නිරත වූවන් විසිර ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn