සිරියාවට රුසියාවෙන් යුද සහාය!

වසර කිහිපයක් සිට සිරියාවේ අසාද් පාලන පෙරළා දැමීමට ක්‍රියාත්මක අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සටන් වැදී සිටින සිරියානු හමුදාව රුසියාවේ සහාය ලැබුණු අතර ආසන්න දවස් කිහිපය තුළ රුසියාවට අයත් විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රවාහන ගුවන් යාන තුනක් සිරියාවට ලඟා වී තිබේ.

සිරියාවට මෙම රුසියානු ගුවන් යානා  පැමිණියේ ඇයිද යන්නත් ඒ තුළ ගෙන ආ දෑ පිළිබඳවත් තමන් දැඩි විමසිල්ලෙන් සිටින බව වොෂින්ටනයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවට අයත් මෙම ගුවන් යාන සිරියාවේ මාධ්‍යධරණි මුහුදු තිරයේ පිහිටි ලැටකියා ගුවන් තොටුපළට ගොඩබැස ඇති බවයි.

මෙම ගුවන් යානා තුළින් සිය ගණනකට රැදී සිටිය හැකි නිවාස, ගුවන් ගමන් මෙහෙයවිය හැකි උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් පැවති බවත් මොස්කව් පාලනය ඉදිරියේදී සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට ගුවනින් සහාය වීමට මෙම ගුවන් තොටුපළ භාවිතා කරනු ඇති බවට වොෂින්ටන් පාලනය අනුමාන කර තිබේ.

සිරියාවට එරෙහිව දියත් කර තිබෙන අයි.එස්. ත්‍රස්ත මෙහෙයුම පිටුපස ඇමෙරිකාව ක්‍රියාත්මක වූ බව ලොවම දන්නා රහසක් බවට පත් වී තිබේ. රසායනික අවි භාවිතා කරන බවට ප්‍රකාශ කරමින් ඇමෙරිකාව සිරියාවට යුදමය මැදිහත් වීමක් සිදු කිරීමට සුදානම් වුවත් රුසියාවේ මැදිහත් වීම මත එය වැළැක්විණි. එහෙත් මේ වනවිටත් සිරියාව ඇතුළු මැදපෙරදිග කලාපය තමන් වෙත නතු කරගැනීමට ඇමෙරිකාව දරන උත්සාහත් ඒ වෙනුවෙන් සිදු කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගත් නතර කර නොමැති බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn