අටවන පාර්ලිමේන්තුවේ ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම වෙනුවෙන් පත් කෙරෙන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා එම පක්ෂය විසින් නම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය නියෝජනය නොකරන අනෙකුත් පක්ෂවලටද ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එම අවස්ථාව මෙලෙස ජනතා විමුක්ති පෙරමුණට හිමි වී තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරෙනු ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් දස දෙනෙකු අයත් වේ. මේ වනවිට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස චම්පික රණවක ඇමතිවරයාත්, අගැමැතිවරයාගේ නියෝජිතයා ලෙස විජේදාස රාජපක්ෂ ඇමතිවරයාත් පත් කර සිටී. ඊට අමතරව ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින් ලෙස අගමැතිවරයා, කථානායකවරයා හා විපක්ෂ නායකවරයා පත්වේ.
අගමැතිවරයාගේ හා කථානායකවරයාගේ එකඟතාවයෙන් පත් කරන නියෝජිතයා ලෙස ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න ඇමතිවරයාද පත්කර සිටී. මීට අමතරව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් තිදෙනෙකු පත් කළ යුතු අතර ඒ සඳහා ඒ.ටී.ආරියරත්න, රාධිකා කුමාරස්වාමි හා හිටපු නීතිපතිවරයකු වන සිබ්ලි අසීස් යන තිදෙනාගේ නම්ද මේ වනවිට යෝජනා වී තිබේ.
ව්‍යවස්ථාදායක සභාව නිල වශයෙන් හෙට (10) දිනයේදී පත්කිරීමට කිරීමට නියමිත බව වාර්තා වේ.









