මතභේදාත්මක උතුරු හා දකුණු කොරියානු රාජ්‍යයන්ගේ ඥාතීන්ට වසර කිහිපයකට පසු නැවතත් හමු වීමේ අවස්ථාවක් උදා වී ඇති බව වාර්තා වේ.
මෙම හමුවීම ලබන ඔක්තෝම්බර් මස 20 වැන දින සිට 26 වැනි දින දක්වා උතුරු කොරියාවේ මවුන්ට් කුම්ගැන්ග් රිසෝට්හිදී පැවැත්වීමටත් ඒ සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට මැදිහත් වීමටත් නියමිත බව පැවසේ. මෙම හමුව පිළිබඳ පැවති සාකච්ඡාවන්හි අවසන් සාකච්ඡාවන් ඊයේ (08) දිනයේදී පැවැති අතර දෙරටේ නියෝජිතයින් එහිදී එකඟතාවයට පැමිණ තිබේ.
1950 දශකයේ හටගත් කොරියානු යුද්ධයෙන් පසුව උතුරු හා දකුණු කොරියාව ලෙස බෙදී වෙන්වීමේදී දෙපසට වූ එකම පවුලේ සාමාජිකයින්ට එකතු වීම හා සන්නිවේදනය කිරීම තහනම් කෙරුණු අතර එලෙස බෙදී වෙන් වූ ඥාතීන් 66,000ක් පමණ දකුණු කොරියාවේ ජීවත්වන බව පැවසේ. ඔවුන්ගෙන් ජීවත්ව සිටින්නන් බහුතරය මේ වනවිට වයෝවෘද තත්වයෙන් ජීවත්වන බව පැවසේ.
2000 වසරේදී පැවැති ඓතිහාසික උතුරු – දකුණු කොරියා සමුළුවේදී මෙලෙස ඥාතීන්ට වසරකදී
එක් අවස්ථාවක් හමුවීමට ඉඩ ලබා දීමට දෙරට එකඟ වී තිබේ. ඒ වෙනුවෙන් දකුණු කොරියාව නැවති ඒකාබද්ධ කිරීම සඳහා අමාත්‍යංශයක්ද ස්ථාපිත කර තිබේ. කෙසේවෙතත් දෙරට අතර දීර්ඝ කාලීනව පවතින මතභේදකාරී සිදුවීම් හේතුවෙන් එම හමුවීම් අඛණ්ඩව පැවැත්වීමට නොහැකි වී තිබේ.
ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙන හමුවීම් සඳහා එක් අවස්ථාවකදී එක් පාර්ශවයකින් 100 දෙනා බැගින් තෝරාගනිමින් මෙම අවස්ථාව උදා කර දීමට සැලසුම් කර තිබේ. එය කෙතරම් දුරට සාර්ථක වේදැයි යන්න පිළිබඳව අවිනිශ්චිත තත්වයක්ද පවතී.









