ඇමති මණ්ඩලය පැටව් ගහන හැඩ

මේ දිනවල දේශපාලන ලෝකයේ ප්‍රධාන කතාබහ මතුවී ඇත්තේ ජාතික ආණ්ඩුව ගැනය. ජාතික ආණ්ඩුවක් නමින් හැඳින් වුවද හැදෙන්නට යන්නේ හවුල් ආණ්ඩුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජාතික ආණ්ඩුවක් යනු යම් රටක ඇතිවී තිඛෙන විශේෂ ජාතික අවශ්‍යතාවයක් මත එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ එක්වී නිස්චිත කාල සීමාවක් නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව ගොඩනගන ආණ්ඩුවකටය. නමුත් දැන් හැදෙන්නට යන්නේ හවුලක් බව පැහැදිලිය. එනම් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමක් මත ගොඩ නැගෙන හවුලකි.

මෙම අවබෝධතාවයට වඩාත්ම සමීප හේතුව වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් සහායදීම නිසා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන අතර ඇති වී තිබෙන දේශපාලන ඇයි හොඳයියකි. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට වඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රනිල් සමග යම් ගනුදෙනුවක් කරගෙන යෑමට හැකියාව තිබේ. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය සමග යම් එකඟතාවයක් ගොඩනැගීමට හවුල් ආණ්ඩුව ඉවහල් වී තිබේ. කෙසේ වෙතත් මෙම හවුල් ආණ්ඩුව නිසාම අර්බුදයට ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ මාධ්‍ය හමු පවත්වමින් සිය විරෝධය පළකරමින් සිටී. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරු මෙම හවුල් ආණ්ඩුව නිසා අර්බුදයට ගොස් සිටිති. ඔවුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා බවට පත්කිරීමට දරන උත්සහය තවදුරටත් අත්හැර දමා නැත.

 

අගමැතිවරයා දිවුරුම් දෙන දිනයේදීම කඩිමුඩියේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පක්ෂ දෙකෙහි ලේකම්වරුන් කටයුතු කළහ. එහෙත් මේ වනතෙක් ඇමති ධුරයන් ඛෙදාගැනීම පිළිබඳව පක්ෂ දෙකටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලදී මුදල් අමාත්‍යංශය, මාධ්‍ය අමාත්‍යංශය සහ පොලිසිය භාර අමාත්‍යංශ ඉල්ලා සිටි බවට අභ්‍යන්තර ආරංචි වාර්තා කළේය. එයට හේතුවක් තිබේ. මුදල් අමාත්‍යංශය යනු ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවය. පොලිසිය සහ ජනමාධ්‍ය අතට ගැනීමෙන් පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සියල්ල යටපත් කර ගැනීමට ඉඩ සලසා ගත හැකිය. නමුත් මේ වනවිට ශ්‍රීලනිපයේ එම උත්සහය අසාර්ථක වී ඇති බව පෙනෙන්නට තිබේ. මන්ද මේ වනවිට ප්‍රවාහන අමාත්‍යංශය, සමෘද්ධි අමාත්‍යංශය, කෘෂිකර්ම හා වාරිමාර්ග, මහාමාර්ග ඇතුළු අමාත්‍යංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමටත් මුදල් අමාත්‍යංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය ඇතුළු වැදගත් අමාත්‍යංශ ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමටත් එකඟතාවයකට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂයට ලැබී තිඛෙන අමාත්‍යංශ භාවිත කරමින් තවදුරටත් එම අමාත්‍යංශ විෂයන්වලට වෙන්කර මන්ත්‍රීවරුන්ගේ ඇමති සිහින සැබෑකර දීමටත් අගමැතිවරයා මේ වනවිට කටයුතු කරමින් සිටියි. මේ අතර රවී කරුණානායකට මුදල් අමාත්‍යංශය ලබාදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධයක් මතුවී ඇති බවටද පැවසේ. ඒ නිසාම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුදල් අමාත්‍යංශයේ විෂයන් ඉවත් කරමින් බැංකු හා මූල්‍ය නමින් අමාත්‍යංශයක් ඇති කර තිබේ.

Facebook
Twitter
LinkedIn