ඡන්දය නොපැවැත්වීම ගැන මාලිමාව ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් විභාගයට යළි දින දෙයි

ඡන්දය නොපැවැත්වීම ගැන මාලිමාව ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් විභාගයට යළි දින දෙයි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් මේ මස 29, 30 සහ දෙසැම්බර් 01, 06, 13 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම පෙත්සම් අද (21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අද දින නඩු විභාගයට සහභාගී නොවීය.

එමෙන්ම මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී ඇතැයිද එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රකාශ කර තිබේ. මෙම නඩුවේ නීතීඥවරු සඳහන් කරන්නේ බොහෝ දුරට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මෙම නඩුවෙන් ඉවත් වනු ඇති බවය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් 04ක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සඳහන් කර ඇත්තේ මෙම නඩුවට අදාළ විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවය.

මෙම පෙත්සම්වල වගඋත්තරකාරියක වශයෙන් නම් කර සිටි මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක වන පී.එස්.එන් චාල්ස් විසින් විරෝධතා ගොනු කර තිබෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයට දැනුම් දී ඇත.

එම විරෝධතාවලට පෙත්සම් පාර්ශවයේ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම ලබන 28 වනදා සිදු කරණ බව නීතිඥ සුනිල් වටගල සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn