නීල හරිත ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සහ කර්මාන්තවලට නිල් වෙන්න විදුලි බිල වැඩිකර තිබෙනවා… – විජිත හේරත්

නීල හරිත ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සහ කර්මාන්තවලට නිල් වෙන්න විදුලි බිල වැඩිකර තිබෙනවා… – විජිත හේරත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව අවස්ථා තුනකදී විදුලි බිල 400%කින් ඉහළ දමා ඔහු ප්‍රකාශ කළ නීල හරිත ආර්ථිකය වෙනුවට සාමාන්‍ය ජනතාවට, කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට නිල් වෙන්න විදුලි බිල වැඩි කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවති මාධ්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩිද එක්වී සිටියහ.

එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් පල කළ අදහස් පහතින් දැක්වේ,

“ජනතාවගේ ආදායම වැඩි නොවී, ජීවන වියදම එන්න එන්නම වැඩිවෙමින් තිබෙද්දී ආණ්ඩුව තවත් බර පටවනවා. මුදල් ඇමතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ 2023ට අදාළ අය වැය ඉදිරිපත් කරද්දී “පරිසර හිතකාමී නීල හරිත ආර්ථියක්” මේ අවුරුද්දේ ගොඩනඟන බව කීවා. මේ අවුරුද්දේ ඩිජිටල් ආර්ථිකයක් හදන බවත් කීවා. අන්තිමට තුන් වතාවක් විදුලි බිල වැඩිකර 400%කින් විදුලි සැර වැද්දුවා. මේක ජනතාවට දරා ගන්න බැහැ. අලුතින් බිල වැඩි කළේ රුපියල් බිලියන 30ක් අලුතින් සොයා ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කළ නිසයි. ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පවුල් ලක්ෂ 18ක් පමණ ඉන්නවා. ඒ අයට විතරක් නොවෙයි සියලු ගෘහ විදුලි පරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට, කර්මාන්තවලට මේ වැඩිකිරීමෙන් පහර වදිනවා. අග්නිදිග ආසියාවේ සිංගප්පූරුව සහ පිලිපීනය හැරුණු විට වැඩිම විදුලි බිල තිබෙන්නේ ලංකාවේ. අග්නිදිග ආසියාවේ ව්‍යාපාර මත වැඩිම විදුලි බිල තිබෙන්නේ ලංකාවේ. නීල හරිත ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සහ කර්මාන්තවලට නිල් වෙන්න විදුලි බිල වැඩිකර තිබෙනවා.

ලබන වසරට අය වැය ඉදිරිපත් කිරීමටත් පෙර ජනවාරි පළමුවැනිදා සිට වැට් බද්ද 18% දක්වා වැඩි කළා. රනිල් වික්‍රමසිංහ එනකොට තිබුණු 8% වැට් බද්ද 15% දක්වා වැඩිකර බදු එකතු කරන පරාසයත් වැඩි කළා. ජනවාරි පළමුවැනිදා සිට 18% දක්වා වැට් බද්ද වැඩිකර අය කරන පරාසය තවදුරටත් වැඩි කරනවා. මේ නිසා භාණ්ඩ හා සේවාවල මිල තව දෙතුන් ගුණයකින් වැඩිවෙනවා. එහෙම තිබියදී ආණ්ඩුව තෙල් මිලත් වැඩි කළා. නමුත් තරඟකාරීව ඉන්ධන බෙදන්න සිනොපෙක්, සහ ඇමෙරිකන් සමාගම් ආවාම තරගය ඇතුළේ තෙල් මිල අඩුවෙන බව කීවා. දැන් තිබෙන්නේ ඉස්සෙල්ලාම මිල වැඩිකරන්නේ කවුද කියන තරගයක්. විදුලි බිල, තෙල් මිල, වැට් බද්ද, නැවත නැවතත් වැඩිකරමින් ජනතාව මත බර පටවනවා. අයවැයෙන් අලුත් බදු හඳුන්වා දෙන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. පාරම්පරිකව ලැබෙන උරුමය මත වූ දේපොළවලටත් බදු ගහන්න සූදානම් වෙනවා. අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම පුරවැසියන් මත බදු ගහන්නත් ලැහැස්ති වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී ගෙවුණු අවුරුද්දයි මාස හතරක් තුළ ජනතාව මත තව තවත් පීඩාව පැටවීම හැර වෙන කිසි දෙයක් සිදුකර නැහැ. එක ඩොලරයකින්වත් විදේශ ණය කපාහැරගෙන නැහැ. අයි.එම්.එෆ්. එකේ පදයට නටන්න ගිහින් ජනතාවට ජීවත් වෙන්න බැරි ආර්ථිකයක් ඉතිරි කර තිබෙනවා.

මේ වගේ අසංවේදී පාලනයක් තුළ ඉදිරි අයවැයේදිත් ජනතාව මත පීඩාව පැටවීම පමණක් සිදුකරන බව ඉතාම පැහැදිලියි. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ආදායම් උත්පාදනය කෙරෙන කිසිදු පියවරක් පේන තෙක් මානයක නැහැ. මේ ආර්ථික මොඩලය අසාර්ථකයි කියන එක රනිල් – රාජපක්ෂ පාලනයෙන් තවදුරටත් තහවුරු කර තිබෙනවා. ඔවුන්ට ප්‍රශ්න විසඳන්න බැරි බව ඉතා පැහැදිලිව ඔප්පුකර තිබෙනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව පෙළ ගැසෙමින් සිටිනවා. තවදුරටත් සංවිධානාත්මකව පෙළ ගැසෙන ලෙස ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn