සිරිසේන, නිලන්ත, පූජිත ඇතුළු පිරිසට දුන් නවතම අධිකරණ නියෝගය

සිරිසේන, නිලන්ත, පූජිත ඇතුළු පිරිසට දුන් නවතම අධිකරණ නියෝගය

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන සිව්දෙනාට එරෙහිව ලබා දී තිබූ නියෝගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) යළි තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අනුව එම සිව්දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

මෙම ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක්ද සිය පුද්ගලික මුදල්වලින් වින්දිතයන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 2023 ජනවාරි 12 වනදා නියෝග කර තිබූ අතර අද නියෝගය නිකුත් කර තිබුණේ උක්ත සිව්දෙනා අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මතය.

මෙම නියෝග ලබා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී වන් අතර අද නියෝගය අනුව දෙසැම්බර් මස 30 වනදාට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන සිව්දෙනාගේ එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් යුතු වේ.

Facebook
Twitter
LinkedIn