දුම්රිය අධිකාරියක් කළ පසු ගාස්තු ඉහළට… සීසන් අහෝසියි… දුම්රිය බලධාරීන් දන්වයි…

දුම්රිය අධිකාරියක් කළ පසු ගාස්තු ඉහළට… සීසන් අහෝසියි… දුම්රිය බලධාරීන් දන්වයි…

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවක දී බලධාරීන් විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් වාර්තා වේ.

වාර ප්‍රවේශ පත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් විශාල ආදායමක් ලද හැකි බවත් එම ආදායමෙන් සේවක වැටුප් ගෙවිය හැකි බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණයට ලක් ව ඇත.

දුම්රිය සේවකයන් 19,000කට ආසන්න පිරිසක් සිටින බවත් වැටුප් හා දීමනා ලබා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මෙම යෝජනා සඳහා හේතු වී ඇති බවද එහිදී බලධාරීන් සඳහන් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ යෝජනාවත් සමඟ ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ සඳහා නවීන තාක්ෂණය සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි ගෙන්වීමටද යෝජනා වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය ප්‍රතිචාරය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn