සමාජගත විමුක්තිය සඳහා භික්‍ෂු පරපුරේ වගකීම

සමාජගත විමුක්තිය සඳහා භික්‍ෂු පරපුරේ වගකීම

අද (26) දිනට යෙදෙන ලාංකේය භික්‍ෂු පරපුරේ දිනය වන ජාතික භික්‍ෂු දිනය වෙනුවෙන් ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල නාහිමි විසින් දිවයින පුවත්පතට සම්පාදනය කර පළකරන ලිපියකි.

ලාංකීය භික්‍ෂුව සම වනුයේ ලාංකීක භික්‍ෂුවටම පමණි. අන් කවර රටක භික්‍ෂූන් වහන්සේ සමග වුව අසම වේ. වර්තමානයේ සකලාකාරයෙන් බිඳවැටී, කුණු වී දුගඳ හමන සමාජ ආර්ථික දේශපාලනික පරිසරය තුළ භික්‍ෂු සංස්ථාවද එකී තත්ත්වයට ගොදුරුවී ඇති බව අසත්‍යයක් නොවේ. එනමුත් මුළුමහත් ලාංකික සමාජය ගොඩනැඟීමේ, පවත්වාගෙන යෑමේ, නැවත ගොඩනැඟීමේ කාර්යයේදී ලාංකීය භික්‍ෂුව කිසිසේත් අමතක කළ හැකි පාර්ශ්වයක් නොවේ. අගෝස්තු 26 එම ලාංකීය භික්‍ෂූන් වහන්සේ උදෙසා ගරු කරන, ඔවුන් ගැන කථාකරන, ඔවුන්ගේ ආදර්ශය ගන්න, ඔවුන්ට උපහාර දක්වන, අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් කියවාගන්න දිනයයි. අගෝස්තු 26 ඒ සඳහා වන ජාතික භික්‍ෂු දිනයයි.

අගෝස්තු 26 ජාතික භික්‍ෂු දිනය වන්නේ කවර පදනමක් නිසා දැයි අප දැනගත යුතුය. ඒ සඳහා පදනම් වන කාරණා දෙකකි. එකක් 1848 පැන නැඟි මාතලේ ජාතික නිදහස් සටනේ “අරගලයේ භික්‍ෂුව” ලෙස හැඳින්වෙන කුඩාපොළ රාහුල හිමියන් එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වයිකවුන්ට් ටොරින්ටන් ගේ අණ පරිදි බෝගම්බරදී පොරවා සිටි චීවරය සමගින්ම වෙඩි තබා ඝාතනය සිදුකෙරෙණි. මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට බලවත් බලපෑමක් සිදුකළ ක්‍රියාවක් ද විය.

දෙවැනි කාරණය නම් 1873 අගෝස්තු 26 දින සිදුවීමකි. 1848 මාතලෙන් පැන නැඟි නිදහස් සටන ලෙයින්, යකඩින් මර්දනය කිරීමත් සමග යටත්විජිත වහල්භාවයට එරෙහිව, යටත් විජිත නිදහස පතා, අවිගත් නැඟිටීම් නතර විය. එය කොතෙක්ද යත් 1971 නැඟිටීම දක්වාම නතර විය. වසර 123 ක පසු බැස්මකි. 71 අවිගත් නැඟිටීම බ්‍රිතාන්‍ය කිරීටයට කළ අභියෝගයක් බව අප්‍රේල් මහ නඩුවේ සටහන්ව ඇත. අවිගත් නැඟිටීම් නතර වූ ශ්‍රී ලංකාවේ ආක්‍රමණික, දූෂිත, මර්දනීය බ්‍රිතාන්‍ය පාලනය ආගමේ මුවාවෙන් සාධාරණය කරමින් මතවාදී ආක්‍රමණයක් දියත් විය. එය බුදු දහම පදනම් කරගෙන පරාජය කිරීම සඳහා 1873 අගෝස්තු 26 තීරණාත්මක මතවාදී සටනක් ඇතිවිය. ලොව පතල එම මතවාදී සටන පානදුරාවාදයයි. වාදිභසිංහ යන ගරු නාමයෙන් පිදුම් ලබන මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන්ගේ නායකත්වයෙන් දින දෙකක් පුරා එය පැවතුණි. එහි ආරම්භක දිනය අගෝස්තු 26 යි.

මෙකී සිදුවීම් දෙක ලාංකීය භික්‍ෂුව තම සමාජ, ආගමික, දේශපාලනික මෙහෙය තත්වානුරූපීව ක්‍රියාවට නැගූ අවස්ථා දෙකකි. සන්තාන ගත විමුක්තිය පෞද්ගලිකව අත්පත් කරගනු වෙනුවට සමාජගත විමුක්තිය පොදු සමාජයට අත්පත් කර දෙන්නට වෙහෙසුන, කැපවුණ. දිවි දුන් මෙවැනි මහා සඟ පරපුරක් ලාංකීය ඉතිහාසයේ වැඩ සිට ඇත. අදද වැඩ සිටිති. මතුවට එවන් පිරිසක් ගොඩනඟාගත යුතුය. ජාතික භික්‍ෂු දිනය වැදගත් වන්නේ ඒ වෙනුවෙනි.

වර්තමාන රනිල් රාජපක්‍ෂ හවුල් පාලනය කිසිසේත්ම ජනතාවාදී පාලනයක් නොවේ. කිසිදු සාධාරණ ආකාරයකින් ජනමතය නියෝජනය නොකරන මෙම දූෂිත පාලන තන්ත්‍රය අද ලාංකීය ධනපති පංති දේශපාලන ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයකට මුහුණ දී ඇත. ඒ හමුවේ දිනපතා නැග එන මහජන පාලනයක් උදෙසා වූ ජනතා පෙළගැස්ම දැක බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ටත් නොදෙවෙනි ආකාරයට ජනතාව මර්දනය කරමින්, ජනතාව මත බදු පනවමින්, දඩ වැඩි කරමින්, අන්ත විනාශකාරී මාවතක ගමන් කරමින් සිටියි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති යටතේ 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් අත්කර ගත නොහැකිවූ ශ්‍රී ලංකාව රනිල් රාජපක්ෂ පාලනය යටතේ යළි අත්කර ගනු පිණිස 5 ආකාර මෙහෙයුමක් දියත් කරමින් සිටියි. 1. මූල්‍ය ක්‍ෂේත්‍රය 2. භූමිය, ගුවන, මුහුද 3. ඛනිජ තෙල් 4. විදුලි බලය 5. සංස්කෘතිය එකී ආකාර 5 යි. ඩොලර් එකක් ලැබෙන්නේ නම් නිකරගුවාවට වුව ලංකාව බිලිදීමට සූදානම් වර්තමාන දූෂිත පාලන තන්ත්‍රය සිය ඉෂ්ට දේවතාවා කරගෙන ඇත්තේ IMF හෙවත් ජාත්‍යන්තර මූලය අරමුදලයි. එම නිසා 1505 සිට 1948 දක්වාත් ඉන් පසුව ගත වූ වසර 75 පුරාත් යන වසර 518 ක් තිස්සේ ශ්‍රී ලාංකේය අපි ජීවත් වී ඇත්තේ පරයින්ගේ පාලනයක් තුළ හෝ පරගැති පාලකයන්ගේ පාලනයන් තුළයි. එම නිසා මාතලේ සටනේ ගිහි පැවිදි සියලු නායකයන්ගේත් මිගෙට්ටුවත්තේ පරපුරේ සැමගේත් අපේක්‍ෂා වැළලී හෝ වළලා ඇතිව මිස ජයග්‍රහණය කර නැත. නිදහස් අරගලය මේ දක්වා නිම නොවූ කර්තව්‍යයකි. එම නිදහස් අරගලය නූතන ගොන්ගාලේගොඩ බණ්ඩලාගෙන්, නූතන පුරන් අප්පුලාගෙන් හා හඟුරන්කෙත ඩිංගිරාළලාගෙන් සවිමත්කොට, කුඩාපොළ පරපුරේ හා මිගෙට්ටුවත්තේ පරපුරේ පමණක් නොව ඉහගම රතනපාල පරපුරේත් නූතන භික්‍ෂූන් වහන්සේලා එකට එක්ව විජයග්‍රහණය කරවීමට අප ඉදිරිපිටට පැමිණ ඇත්තේ හොඳම කාලයයි. ජාතික භික්‍ෂු දිනය අපට බල කරනුයේ එම කාර්යය වහ වහා ඉටුකරන ලෙසයි. අපි අපේ කයින්, වචනයෙන්, මනසින් වෙර යොදා ඉටුකරමු. පරගැති පාලකයන්ගේ පාලනයක් යටතේ සමරණ අවසන් භික්‍ෂු දිනය මෙය බවට පත්කරමු. එය ඔබට හැකියි.

සමාජගත විමුක්තිය සඳහා භික්‍ෂු පරපුරේ වගකීම
ජාතික භික්‍ෂු පෙරමුණේ ගරු
සභාපති පූජ්‍ය හඳුගල
රතනපාල නාහිමි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්