ලොව ප්රථම වරට දින 32 කට පසු, ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙන් පසුව එය දිගටම කිසිදු ආබාධයක් නොමැති ව ක්රියාත්මක වන පුවතක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ නිව් යෝර්ක් හි NYU Langone ඇමරිකානු රෝහලේදී ජුලි 14 වන දින 57 හැවිරිදි මොළය මිය ගොස් කෘත්රිම ශ්වසන යන්ත්රයක් මත ජිවත්වන රෝගියෙකුටය. මෙම රෝගියා මිය යාමට පෙර තම අන්තිම කැමති පත්රයකින් තම ශරීරය විද්යාවට පරිත්යාග කිරීමෙන් පසු ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායම මෙම බද්ධ කිරීම සාර්ථකව අත්හදා බලා තිබේ.
මෙය ලොව පුරා වෙසෙන වකුගඩු අහිමිව අවයව පරිත්යාගශීලින් සොයන දහස් සංඛ්යාත රෝගීන්ට මහත් අස්වැසිල්ලක් ලබා දෙන පණිවිඩයක් මෙන්ම රෝගයට ස්ථාවර විසඳුමක් ලබාදීම සඳහා තබන ලද දැවැන්ත පියවරක් බව ඇමරිකානු විද්යාත්මක කණ්ඩායම මාධ්ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ. “බද්ධ කරන ලද සත්ව වකුගඩුව රුධිරය පෙරීම, මුත්රා නිපදවීම ඉතා කාර්යක්ෂම ලෙස සිදු කළා. කිසිදු ක්ෂණික ප්රතික්ෂේප කිරීමක් වාර්තා වෙන්නේ නෑ ” යනුවෙන් පරීක්ෂණ කණ්ඩායම මාධ්ය අමතා එසේ සඳහන් කරනු ලැබුවේ මෙම දින 32 නියෝජනය කරන්නේ “මිනිසෙකු තුළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩුවක් වැඩ කළ දීර්ඝතම කාල පරිච්ඡේදය” ලෙස ඉතිහාසයට එක් වන බවද අවධාරණය කරමිනි. එය තවත් අතිරේක මාසයක් සඳහා අත්හදා බැලීම දිගටම කරගෙන යාමට අවශ්ය කාලයක් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසා සිටිති.
Maurice Miller නම් මෙම පුද්ගලයාගේ වකුගඩු ශල්යකර්මයක් අතරතුර ඉවත් කර ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් එයට බද්ධ කර ඇති අතර එම සත්ව ඉන්ද්රිය රෝගියාගේ ශරීරය ක්ෂණිකව ප්රතික්ෂේප නොකරනු ලදී. කෙසේවෙතත් ඌරාගේ වකුගඩුව මිනිසකුට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීමට ප්රධාන ජාන වෙනස් කිරීම් 10ක් සිදු කර ඇත. ඉන් පසුව මිනිස් ශරීරයේ ප්රතිශක්තිකරණ ක්රියා වලියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඌරු තයිමස් ග්රන්ථිය ද වෛද්යවරුන් විසින් අනතුරුව බද්ධ කරන ලදී.
එයින් අපේක්ෂා කරනු ලැබුවේ තයිමස් ග්රාහකයාගේ සෛල වලට ඌරෙකුගේ සෛල තමන්ගේම ලෙස හඳුනා ගැනීමට හා එය සමග බද්ධ වීමට උපකාරී වීම හා එය ප්රතික්ෂේප කිරීම වළක්වා ගැනීමට බව මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ වෛද්ය Adam Griesemer මාධ්ය හමුවකදී පැහැදිලි කළේය. තයිමස් ග්රන්ථිය විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ විශ්ලේෂණයක් තවත් මාස දෙකක් අවසානයේ දී සිදු කරනු ලබන බව ඔහු තව දුරටත් සඳහන් කර සිටියේය.
“කෙසේ වෙතත්, මාසයකට වැඩි කාලයක් පුරා අප කල විමර්ශනයේදී පටක විශ්ලේෂණයෙන් හා වකුගඩු පරීක්ෂාවෙන් පෙන්නුම් කරනුයේ එහි ප්රතික්ෂේප කිරීමේ කිසිදු සලකුනක් නොපෙන්වන බවයි” යයි NYU Langone’s Transplant Institute හි අධ්යක්ෂ වෛද්ය Dr Robert Montgomery විසින්ද තහවුරු කර සිටියේය. “ඌරු වකුගඩුව විසින් මිනිස් වකුගඩුව මගින් සිදු කරන සියලුම වැදගත් කාර්යයන් ඉතා හොඳින් සිදු කරන බව මේ වන විට හඳුනා ගෙන තිබෙනවා”. ඔහුට අනුව, එහි ඊළඟ පියවර වනුයේ මෙම බද්ධ කිරීම ජීවමාන මිනිසෙකු වෙත සිදුකිරීමයි.
මෑත වසර කීපයක සිටම ඉහත වෛද්යය කණ්ඩායම විසින් මේ වර්ගයේ පරීක්ෂණ රාශියක් සිදු කර ඇත. නමුත් මෙතෙක් ඔවුන්ගේ සියලු අත්හදා බැලීම් වල ප්රථිපල ඉතා කෙටි කාලයකට පමණක් සීමා විය. ආගන්තුක පටකයක් පැවතීමෙන් දින දහයේ සිට දහහතරකට පසුව සිදුවන අනුවර්තන ප්රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම නිරීක්ෂණය කිරීමට ඔවුන්ට නොහැකි වූ බව ආචාර්ය Adam Griesemer පැහැදිලි කර සිටියේය. නව පරීක්ෂණයේදී මොළය මගින් සාමාන්යයෙන් සිදු කරනු ලබන ක්රියාකාරකම් එනම් උෂ්ණත්වය, හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය ආදිය නියාමනය කිරීම සඳහා විශේෂ වෛද්ය කණ්ඩායමකගේ නිරන්තර අධීක්ෂණය කිරීමකටද භාජනය කර ඇත.
xenografts ලෙසද හඳුන්වන මෙම පටක බද්ධ පරික්ෂාව එනම් සතුන්ගෙන් මිනිසාට ඉන්ද්රියන් බද්ධ කිරීමේ විද්යාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා රටවල පරීක්ෂණ සිදු වෙමින් පවති. අවයව බද්ධ කිරීම් සඳහා වූ බලා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දස දහස් ගණනක් සිටින රටවල ඉහත පරීක්ෂණ සාර්ථක වූ හොත් අවයව පරිත්යාග කිරීමේ හිඟය අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.
2021 සැප්තැම්බර් මාසයේදී ලොව ප්රථම වරට ඌරු වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීම සිදු කරනු ලැබුවේ ඉහත පරීක්ෂණ කණ්ඩායම වන අතර නමුත් එම වකුගඩු හොඳින් ක්රියාත්මක වී ඇත්තේ දින කිහිපයක් පමණි. බද්ධ කිරීම් ශරීරයෙන් පිටත තබා කකුලකට සම්බන්ධ කර ඒවා නිරීක්ෂණය කර සාම්පල ලබා ගැනීමෙන් පමණක් එය සිදු කර තිබිණි. 2022 ජනවාරි 7 වන දින, තවත් ඇමරිකානු රෝගියෙකුට මානව හදවතක් බද්ධ කිරීම සඳහා ලබා ගැනීමට නුසුදුසු බව ප්රකාශ කිරීමෙන් පසු ඌරු හදවතක් යොදා ගනිමින් එම බද්ධ කිරීම සිදු කරනු ලැබිණි. වර්තමානයේ ඌරු හෘද කපාට මිනිසුන්ට බද්ධ කිරීම් බහුලව භාවිතා වන අතර, පිළිස්සුම් වලදී සිදු කරන ශල්ය කර්ම වලදීද ඌරන්ගේ සම බහුලව භාවිතා වේ.
මෙම නව අවයව බද්ධ කිරීම පසුගිය පරීක්ෂණ වලට වඩා වෙනස් වනුයේ වකුගඩු සම්පූර්ණයෙන්ම ශරීරය තුළ සම්බන්ධ වී ඇති බැවින් එය මේ දක්වා කිසිදු සංකුලතා පෙන්වීමක් සිදු නොකරන නිසා එය සාර්ථක බද්ධ කිරීමක් ලෙස සැලකිය හැකි බවට NYU Langone’s Transplant Institute හි වෛද්ය කණ්ඩායම සහතික කර කියා සිටින නිසාවෙනි. අවයව බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින ඇමරිකානු රෝගීන්ට අදාළ පරීක්ෂණ ඉක්මනින් සිදු කිරීම සඳහා ඇමරිකානු රජයේ බලධාරීන්ගේ අවසරය ඉක්මනින් ලබා ගැනීමටත් ඔවුන් මේ වන විට සැලසුම් කරමින් සිටිති.
මේ වන විට ඇමරිකානුවන් 100,000 කට වැඩි පිරිසක් අවයව බද්ධ කිරීමක් සඳහා බලා පොරොත්තු ලේඛනයේ සිටින අතර ඉන් 88,000 කට ආසන්න පිරිසක් වකුගඩුවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඇමරිකානු සෞඛ්ය අමාත්යංශ වාර්තා සඳහන් කරනුයේ මෙම රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණක් වකුගඩු පරිත්යාගයන් ලැබෙන අතර අනෙක් අයට වකුගඩු ප්රයෝජන ගැනීමට නොහැකි තරමට රෝගාතුර වීම හෝ මිය යාමට සිදුවේ.
ඇමරිකාවේ ජනගහනයෙන් මිලියන 19 ක් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බව ගණන් බලා ඇත. වසරකට ඇමරිකාව ඩොලර් බිලියන 29ක් මේ රෝගයට ප්රතිකාර සඳහා වැය කරනු ලබයි. රෝගයේ ව්යාප්තිය රටින් රටට වෙනස් වේ. ඔස්ට්රේලියාව, යුරෝපය සහ ජපානයේ ජනගහන අධ්යයනයෙන් පෙන්නුම් කරන්නේ ව්යාප්තිය 6 සහ 16% අතර සිදු වන බවයි. බ්රසීලය, ජපානය, ඉතාලිය, ජර්මනිය සහ එක්සත් ජනපදය යන රටවල් පහ ලෝක ජනගහනයෙන් 12%ක් නියෝජනය කරන අතර ලෝකයේ දැනට හඳුනාගෙන සිටින වකුගඩු රෝගීන්ගෙන් අඩක් මෙම රටවල ජිවත් වේ. ලෝකය පුරා මිලියන 353ක් එනම් ලෝක ජනගහනයෙන් 5%ක් වකුගඩු ආශ්රිත රෝග වලින් පීඩා විඳි.
2022 ජනවාරි 31 වනදා බ්රසීල පරීක්ෂණ කණ්ඩායමක් ශ්රී ලංකාව, ඉන්දියාව හා දකුණු ඇමරිකානු රටවල් රාශියක් තුල සිදු කරන ලද පරීක්ෂණ වලින් පසුව නිකුත් කල වාර්තාවක සඳහන් කරනුයේ මෙම රටවල වකුගඩු රෝග පැතිරීමට මුලික හේතුව ලෙස පෘථිවියේ උෂ්ණත්වය පසුගිය වසර 50තුල ඉහල යාම නිසා සිදු වූවක් බවට අනුමාන කල හැකි බවයි. තම මුලාශ්ර මගින් ඔවුන් පෙන්වා දෙනුයේ මෙම රටවල් තුල රෝගය පැතිරීම සිදු වී ඇත්තේ කෘෂි කාර්මික කලාප වල බවත්, ගොවීන් ඍජුවම රක්ත කිරණ වලට නිරාවරණය වීම හා විජලනය වීමෙන් මෙන්ම රසායනික ද්රව්ය ජලය තුලට එක් වී දූෂණය වීම නිසාත් ඔවුන්ගේ වකුගඩු දුර්වල වී ඇති බවය.










