පාචන රැල්ලක අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි

පාචන රැල්ලක අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි

රට තුළ පවතින ජල හිඟයත් සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු කලාපීය උපදේශක, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි.

ඒ අනුව, ජල මූලාශ්‍ර හිඳීමෙන් ජලය විෂබීජ මිශ්‍ර වූ පසු පාචන රෝගයට ජනතාව ගොදුරුවන බවත් එය යම් මොහොතක බරපතළ ලෙස බලපෑමක් වනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

පවතින උෂ්ණාධික මොහොතේ වැඩිපුර ජලය පානය නොකළහොත් අනිවාර්යෙන්ම වකුගඩු හා මුත්‍ර සංසරණ පද්ධතියේ රෝග වැළඳීමෙන් වැළකිය නොහැකි බවත් විශේෂයෙන්ම මේ ගෙවෙන්නේ ජල මූලාශ්‍ර හිඳෙන කාලයක් බැවින් භාවිතයට ගන්නා ජලය උණු කර පානය කිරීම අත්‍යවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කරයි.

එමෙන් ම, පාසල්වල දරුවන් ආපනශාලාවලින් ගන්නා ආහාරපාන ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ආහාර සැකසීමට ගන්නා ජලය පිළිබඳව දැඩිව සැලකිල්ලක් දැක්වියයුතු බවත් ඔහු අධාරණය කරයි.

කම්කරුවන් ගොවීන් ඇතුළු වැඩ කරන ජනතාවට අව්වේ නොසිටින්නැයි කීමෙන් ඇති ඵලක් නොමැති බැවින් වෙන දාට වඩා වුවමනාවෙන් ජනතාව පිරිසිදු ජලය පානය කළ යුතුව තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ වැඩිදුරටත් අවධාරණය කරයි.

අනුරාධා හේරත් – මව්බිම

Facebook
Twitter
LinkedIn