විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත් පක්‍ෂ ගොඩ ගන්න හදනවා – නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර

විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත් පක්‍ෂ ගොඩ ගන්න හදනවා – නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර

“රට බංකොළොත් බව ප්‍රකාශ කළ මුදල් ඇමැති වෙනත් ඇමැතිකමක් දරන අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩලය විසිරී වෙනත් අය ඇමැති ධුරවලට පත් වෙනවා. රට හදන බවට පොරොන්දුවී පත් කරගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 147 විසිරී ගොස් අපභ්‍රංස කියනවා. අරගලයෙන් පසුව රට මෙවැනි අරාජිකත්වයට පත්වීම ගැන නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන සහ විපක්‍ෂය යන සියලුම පාර්ශ්ව ඉල්ලීමක් කරමින්, රට යථා තත්වයට පත් වන තුරු නිර්දේශපාලනික ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටියා. නමුත්, රට යථා තත්වයට පත්කිරීම වෙනුවට සියලුම ක්‍ෂේත්‍රවල විකෘතියක් පවතින බව ඒ ඒ ක්‍ෂේත්‍රවල සියලු විශේෂඥයන් පොදුවේ ප්‍රකාශ කරනවා. මේ විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත්වූ පක්‍ෂ ගොඩ ගැනීමේ ව්‍යාපාරයක් ගෙන යනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ උත්සාහය රටට හෝ පුරවැසියාට හෝ යහපතක් වෙන්නේ නැහැ.” යැයි ජාතික ජල බලවේගයේ නීතීඥයෝ සංවිධානයේ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥජේ.එම් විජේබණ්ඩාර වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ අධිකරණය ප්‍රධාන ආයතන තුන හැටියට දක්වා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් මාධ්‍යයට හෝ වෙනත් ආයතනවලට තම කටයුතු පිළිබඳව කරුණු නොදක්වා නිහඬව ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ මූලික සහ එකම බලය දරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 වැනි වගන්තිය අනුව මේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබෙන අතර, ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට ඒ බලය නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය හෝ වෙනත් ආර්ථික ප්‍රතිපත්ති තීරණ හෝ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඖෂධ ගෙන්වීමේදී, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැනි ඕනෑම කටයුත්තකදී විමර්ශනය කළ හැකි එකම තැන අධිකරණ පද්ධතියයි. මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදී එහි 86වැනි වගන්තිය සම්බන්ධ තීන්දුව පාර්ලිමේන්තුව පිළිගන්න ඕනෑ. එය නෛතික මෙන්ම සදාචාරාත්මකවත් පිළිගන්න ඕනෑ. මේ ආයතන තුන එකිනෙකාට ගරු නොකර ක්‍රියා කළහොත්, ව්‍යවස්ථා අර්බුදයකට හේතු වෙනවා. මෙරට රාජ්‍ය පාලන ආයතන තුනෙන් විකෘති නොවී තිබෙන එකම ආයතනය අධිකරණය විතරයි. පාර්ලිමේන්තුව 100%ක් විකෘතියි. ජනාධිපති ධුරය 100%ක් විකෘතියි. කැබිනට් මණ්ඩලය 100%ක් විකෘතියි. මේ විකෘතිය සිදු වුණේ කෙසේ දැයි මම පැහැදිලි කරන්නම්.

අන්තිමට පැවැති මහා මැතිවරණයේදී වාගේම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත්තා. ඊට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තු ව්‍යුහයක් පත්කර ගත්තා. ඒ පත් කරගත් ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුළත ජන අප්‍රසාදයට ලක්වී තිබෙන අතර, මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී රට බංකොළොත් බවට නිල ප්‍රකාශයක් කළා. ඒ වාගේම අරගලයකින් ජනතාව පත් කරගත් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කර තිබුණා. එහෙම නම්, ඡන්ද අයිතිය නමැති පරමාධිපත්‍ය බලය වාගේම ප්‍රජාතන්ත්‍රවාදී කියන සෙවණැල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම තිබෙනවා. එසේ තිබියදී, රට බංකොළොත් බව ප්‍රකාශ කළ මුදල් ඇමැති වෙනත් ඇමැතිකමක් දරන අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩලය විසිරී වෙනත් අය ඇමැති ධුරවලට පත් වෙනවා. රට හදන බවට පොරොන්දුවී පත් කරගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 147 විසිරී ගොස් අපභ්‍රංස කියනවා. අරගලයෙන් පසුව රට මෙවැනි අරාජිකත්වයට පත්වීම ගැන නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන සහ විපක්‍ෂය යන සියලුම පාර්ශ්ව ඉල්ලීමක් කරමින්, රට යථා තත්වයට පත් වන තුරු නිර්දේශපාලනික ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටියා. නමුත්, රට යථා තත්වයට පත්කිරීම වෙනුවට සියලුම ක්‍ෂේත්‍රවල විකෘතියක් පවතින බව ඒ ඒ ක්‍ෂේත්‍රවල සියලු විශේෂඥයන් පොදුවේ ප්‍රකාශ කරනවා. මේ විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත්වූ පක්‍ෂ ගොඩ ගැනීමේ ව්‍යාපාරයක් ගෙන යනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ උත්සාහය රටට හෝ පුරවැසියාට හෝ යහපතක් වෙන්නේ නැහැ.

මේ පසුබිම තුළ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නීතිය කෙරෙහි දක්වන සැලැකිල්ල ඉතාම ඛේදජනකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පිහිටුවා තිබූ මැතිවරණ කොමිසම කැඳවූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළ ජනාධිපතිවරයා එවැනි මැතිවරණයක් නැති බව ප්‍රකාශ කළා. ඉන් පසුව නුවරඑළියේදී අධිකරණ නිලධාරීන් හමුවී අධිකරණය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය ඉදිරියේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතිද්දී, ඊයේ ඔහු කළ කතාවේදී තව විශේෂ දෙයකුත් අවධාරණය කළා. “මම සුළු දේශපාලන පක්‍ෂවලට කියනවා, ඕවාට එන්න එපා. මම ඒ කවුරුත් කියන එකක් අහන්නේ නැහැ” කියලා. සුළු හෝ විශාල පක්‍ෂ කියලා ප්‍රජාතන්ත්‍රවාදය අනුව තීරණය කරන්නේ කොහොමද? එහෙම කරනවා නම්, කරන්න වෙන්නේ මහජන මතය අනුවයි. ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ තිබෙන ඉතාමත්ම සුළුම දේශපාලන පක්‍ෂයේ අයිතිකාරයා ඔහුයි. එක ආසනයයි තියෙන්නේ. ඔහුගේ අර්ථයෙන් සුළු දේශපාලන පක්‍ෂවලට උසාවි නොයන ලෙස ඒ කතාවේදී සරදම් කරනවා. ඉතාම සුළු දේශපාලන පක්‍ෂයක මේ පුද්ගලයා කියන කතාව අපට ඕනෑ නම්, බැහැර කළ හැකියි. නමුත්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු විධායක බලය හොබවන පුද්ගලයා ලෙස මේ ප්‍රකාශය කරන්නේ. ඔහුගේ විකෘති දේශපාලනය නොව මුළු රටම අරගලයෙන් ඉල්ලා සිටියේ, නිර්දේශපාලනික සංක්‍රාන්ති කාලයක් ලබාදෙන ලෙසයි. ඒ බලය ලබාදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී, පාර්ලිමේන්තු විකෘතියෙන් මේ තනතුරට පැනගෙන දැන් ඔහුගේ පක්‍ෂයේ පරාජිත දේශපාලනඥයන් උපදේශකයන් ලෙස පත් කරගෙන අමුතු ආණ්ඩුවක් පවත්වාගෙන යනවා.

වෛද්‍ය විශේෂඥයන්, අනෙකුත් ක්‍ෂේත්‍රවල විශේෂඥයන් බදු බර නිසා රට අත්හැර යනවා. ඒ තත්වය ගැන ඔහුගේ ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ මහාචාර්යවරුන්ට උගන්වන පැය ගණන අනුව වැටුප් ගෙවිය යුතු බවයි. මේ වාගේ තත්වයක් තුළ විශේෂඥයන් රටේ ඉතිරි වේවි ද? ආර්ථිකය කඩාවැට්ටවීම පිළිබඳව විශ්‍රාම වැටුප් අරමුදල් පිළිබඳව රජයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව නඩු ගණනාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් පොලිසියේ උසස්විම් සම්බන්ධ තීරණවලට අත පෙවීම සහ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් තීරණ ගන්නේ අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. මෙවැනි විකෘති තත්වයන් ගැන පුරවැසියාට යා හැකිව තිබෙන එකම ආයතනය වන අධිකරණයට විශාල බලපෑමක් මහජන මතයට එරෙහි පාලකයා සිදු කරනවා.

තමන් කනවාද නැද්ද, නානවාද නැද්ද, වැසිකිළි ගොස් හෝදනවාද නැද්ද වාගේ කරුණු සම්බන්ධයෙන් ඕනෑ නම්, තම තමන්ටම තීන්දු ගන්න පුළුවන්. නමුත්, රාජ්‍ය පාලකයකු හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල සම්බන්ධයෙන් මේ වාගේ ප්‍රකාශයක් කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතා උල්ලංඝනය කිරීම දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතුවක්. යම් බලතලයක් ක්‍රියාත්මක කළ හැක්කේ විධායකයෙන්, ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් බව තීරණය කළ හැකි එකම ආයතනය වන අධිකරණය සම්බන්ධයෙන් කරන මේ ප්‍රකාශ මානසික ව්‍යාධියකින් පෙළීම හෝ හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවෙන් සිදු කරන්න ඕනෑ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම මේ අවස්ථාවේ ප්‍රමුඛ කාර්යයක්ද? නමුත්, එවැනි දේ කරන බව කියන්නේ ඊළඟ මැතිවරණයකදී බලය ලබාගැනීමේ චේතනාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය උල්ලංඝනය කරමින්, මේ ජනාධිපතිවරයා වරින් වර කරන ප්‍රකාශ මඟින් අධිකරණයට කරන තර්ජනය ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි හෙළාදකිනවා.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කළ උද්ඝෝෂණවලට ශ්‍රී ලංකාවේ නීතිඥයෝ සහයෝගය දුන්නා. රට පුරාම විහිදී සිටින නීතිඥයන් යුතුකමක් හැටියට ඒ කටයුත්ත සිදු කළා. ඒ වාගේම ශක්තිමත් සංගමයක් හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අද හෙටම මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට සරදම් කිරීමට එරෙහිව පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.”

Facebook
Twitter
LinkedIn