ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යමින් පවැතියද එම සංචාරකයෙකුගෙන් ලැබෙන ඒක පුද්ගල විදේශ විනිමය ප්‍රමාණය විශාල වශයෙන් අඩුවෙමින් තිබෙන බව ලංකාටෘත් පසුගිය ජුලි 31 වනදා කළ හෙළිදරව්ව තහවුරු කෙරෙන දත්ත අද (02) දිනමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පල කර තිබිණි.
“මුල් මාස 06ට සංචාරක ආදායම 173%කින් නගී” යන සිරස්තලයෙන් ප්‍රවෘත්තිය පල කර තිබූ අතර එහි බරපතල විකෘත්ති කිරීම්ද ඇතුළත් කර තිබිණි. සිරස්තලය යෙදීමේදී “මුල් මාස 06ට සංචාරක ආදායම 173%කින් නගී” යනුවෙන් සඳහන් කළද එම ගණන් බැලීම සිදු කර තිබෙන්නේ 2022 වසරේ ජුනි මාසයේදී අපයගන්නා ලද ඩොලර් මිලියන 45ට සාපේක්ෂව 2023 ජුනි මාසයේදී ඩොලර් මිලියන 123ක් උපයා ගැනීම ගණනය කිරීමෙනි. එහෙත් සිරස්තලයේ සඳහන් කර තිබුණේ මුල් මාස 06 දී 173%කින් වර්ධනය වූ බවය.
කෙසේ වෙතත් එම ප්‍රවෘත්තිය සඳහන් ආකාරයට මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 624,874ක් මෙරටට පැමිණ තිබේ. ඒ මගින් උපයන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 875ක්ය. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් උපයාගෙන ඇති සාමාන්‍යය ඩොලර් 1,400.28ක් වේ. ලංකාටෘත් පසුගිය 29 වනදා හෙළි කළේ පසුගිය වසරේදී එක් විදේශ සංචාරකයෙකුගෙන් ඩොලර් 1,677ක සාමාන්‍ය ආදායමක් උපයාගෙන තිබූ අතර මෙම වසරේදී එය ඩොලර් 1,579 දක්වා අඩු වී තිබූ බවය. එය ජුනි මාසය අවසන් වනවිට තව දුරටත් ඩොලර් 1,400.28 දක්වා අඩු වී තිබේ.










