කොලොම්බියාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති තම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරයි!

කොලොම්බියාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති තම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරයි!

“පුරවැසියෙකු ලෙසත්, පියෙකු ලෙසත් දැඩි ස්වයං සංතාපයක සිටිමින් මේ ප්‍රකාශය සිදුකිරීමට මා හට සිදු වී ඇත. මාගේ එක් දරුවෙකු සිරගෙදරට පත්වීම මට පියෙකු ලෙස මහත් වේදනාවක් හා කම්පනයක්” යයි සෙනසුරාදා දිනයේ කොලොම්බියානු ඉතිහාසයේ ප්‍රථම වාමාංශික ජනාධිපති රටේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් සඳහන් කර සිටියේය. පසුගිය ජනධිපතිවරණ සමයේ කොලොම්බියානු වර්තමාන ජනාධිපති Gustavo Petroගේ පුතෙකු වන හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුද වන Nicolas Petro හා ඔහුගේ බිරිඳ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවට ලැබුණු තොරතුරු මත ඔවුන් දෙදනා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා එරට පොලීසියට නියෝග කර ඇත.

මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ලෙස ධනවත් වීම යන වැරදි සම්බන්ධයෙන් ජනාධිපති පුත් Nicolas Petro මන්ත්‍රීවරයා හා ඔහුගේ බිරිඳ වත්කම් විශුද්ධිකරණය සහ පුද්ගලික දත්ත සැඟවීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කොලොම්බියානු අපරාධ විමර්ෂණ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අධිකරණය ඉදිරියේ අදාළ චෝදනා විභාග වන තුරු ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ රඳවා තබා ගන්නා බව එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කර සිටි.

මන්ත්‍රීවරයාගේ පුද්ගලික ගිණුම්වලට ඩොලර් 120,000ක මුදලක් මේ වනවිට ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත වසර 18ක සිර දඬුවම් විඳින සුප්‍රකට “The Marlboro Man”, නමින් හැඳින්වෙන Samuel Santander Lopesierra විසින් ජනාධිපතිවරණ සටන සඳහා ලබා දුන් බව පවසනුයේ ඔහුත් සමග අත්අඩංගුවට ගන්නා ලද ඔහුගේම බිරිඳ විසිනි. නමුත් ඔහු විසින් මෙම ලබා ගත් මුදල් ජනාධිපතිවරණය සඳහා ලබා නොදුන් බවත් ඒවා ඔහුගේ පුද්ගලික සුබ විහරණය සඳහා යොදා ගත් බවත් මෙම මුදල් ගණුදෙනුව ජනාධිපතිවරයා නොදැන සිටි බවත් ඔහුගේ බිරිඳ විසින් පොලීසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් වේ.

ඒ අනුව එරට අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් ආරම්හ කළ අතර අදාළ මන්ත්‍රීවරයාගේ බැංකු ගිණුමේ ඔහුට තම මන්ත්‍රී වැටුපෙන් හා තම ජිවිත කාලය තුළදී උපයා ගැනීමට නොහැකි අන්දමේ විශාල මුදලක් සොයා ගත් බවත් කොලොම්බියානු මාධ්‍ය මේ අතර වාර්තා කර සිටියේය.

2022දී කොලොම්බියාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති ලෙස පත්වන M-19 ගරිල්ලා සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයෙකුද වන Gustavo Petro තම මැතිවරණ වේදිකාවලදී ජනතාවට පොරොන්දු වූ එක් කාරණයක් වනුයේ කොලොම්බියාවේ දරුණු ලෙස පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම හා ඒ හා සම්බන්ධ සන්නද්ධ මාෆියාව මර්දනය කරනු ලබන බවයි. ඒ අනුව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තම ආයුධ බිම තබා සාමාන්‍ය ජිවිතයට ඇතුළු වන ලෙස නිතර නිතර ඉල්ලා සිටිනු ලැබුවේ මෙම වසරේ මාර්තු මාසයේ වගන්ති 54ක් සහිත පොදු සමාව ලබා දීමේ නීතියක්ද සම්මත කරමිනි. එසේම තවදුරටත් ආයුධ බිම් නොතැබූ FARC ගරිල්ලන්ට හා ELN වාමාංශික ගරිල්ලන්ටත් එම ඉල්ලීම කරමින් මෙම වසරේ ජුනි මස 15 වැනිදා කියුබාව මැදිහත් වීමෙන් සටන් විරාම ගිවිසුමක්ද අත්සන් කරනු ලැබිණි.

කෙසේවෙතත් මේ වනවිට Gustavo Petroගේ පාලනයට එරෙහිව හා ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණ හා මැතිවරණ යෝජනාවලට එරෙහිව දැඩි ප්‍රහාරයක් ලිබරල් කඳවුරෙන් හා තමන්ට සහය පල කරන සුළු වාමාංශික පක්ෂවලින්ද එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් තම ඇමතිවරුන් 14 දෙනෙකු රජයෙන් ඉවත් කිරීමටද ඔහුට සිදුවී ඇත්තේ රටේ ප්‍රධාන අර්බුධය ලෙස සැලකෙන ඉඩම් ප්‍රතිසංස්කරණවලට තම කඳවුර තුළින්ම ඇතිකරන බාධා කිරීම් හේතුවෙනි. කොලොම්බියාවේ සාමය පතා සන්නද්ධ සංවිධාන නිරායුධ කිරීමටද ලිබරල් පක්ෂ තම විරෝධය පල කරමින් සිටි.

පසුගිය මැයි දිනයේ විශාල ජනතාවක් ඇමතු Gustavo Petro පවසා සිටියේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ හා සමාජ සාධාරණත්වය ඇති කිරීමට ලිබරල් කොංග්‍රසය හා පාර්ලිමේන්තුව සහය නොදෙන්නේ නම් ඔවුන් ජනතා විප්ලවයකට මුහුණ දීමට සුදානම් විය යුතු බවයි. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ඔහු රටේ කම්කරු, ගොවි, තරුණ හා ශිෂ්‍ය ඇතුළු සමස්ත ජනතාවගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ රටේ සාමය හා සමානාත්මතාවය ඇති කිරීම සඳහා පවතින දුෂිත රාජ්‍ය ආයතන හා එහි අරක් ගෙන සිටින පැරණි නිලධාරිවාදී පැලැන්තියට එරෙහි සටන තනි පුද්ගලයෙකුට කලහැකි සටනක් නොවන බවත් රැඩිකල් ප්‍රතිසංස්කරණ සඳහා සමස්ත ජනතාව ඍජුව මැදිහත් විය යුතු බවයි.

“හදවත බිඳුණු පියෙකු ලෙස මා ගත් තීරණය පිළිබඳව කිසිදු කණගාටුවකට පත් නොවෙමි. තමන් විසින් සිදු කළ වැරදි සම්බන්ධයෙන් නිවැරිදි පුරවැසියෙකු බවට පත් වීමට මෙමගින් මාගේ පුතුට අවස්ථාව ලැබෙනු ඇතැයි මා විශ්වාශ කරනවා. සමස්ත අධිකරණය ක්‍රියාවලියට මාගේ කිසිදු බලපෑමක් රටේ ජනාධිපතිවරයා ලෙස මා වෙතින් සිදු නොවන බව රටේ අධිකරණයට හා ආරක්ෂක අංශ වෙතට දැනුම් දීමට කැමැත්තෙමි යයි” කොලොම්බියානු ජනාධිපති Gustavo Petro අවසාන වශයෙන් ජාතිය අමතා ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn