සමෘද්ධිය කැපූ හැටි සේමසිංහගේ කටින් පනියි…

සමෘද්ධිය කැපූ හැටි සේමසිංහගේ කටින් පනියි…

අස්වැසුම සුභසාදන ප්‍රතිලාභ යනුවෙන් රජය නම් කළ දිළිඳු සහන යෝජනා ක්‍රමය ආණ්ඩුව විසින් කුමන්ත්‍රණකාරී ලෙස මේ වනවිට මුළුමනින්ම අඩපන කර ඇති අතර දැනටත් සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ කපා හැර ඇති අන්දම මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබේ.

රාජය ඇමති හෙළි කර තිබෙන්නේ, දැනට සෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,000ක් සිටින අතර එයින් අස්වැසුම සඳහා 887,653ක් තෝරාගෙන ඇති බවය. මේ අනුව සමෘද්ධි ලබන පවුල් 392,347ක් කපා හැර ඇත. එමෙන්ම ආණ්ඩුව මුලදීම ප්‍රචාරය කළ අන්දමට පවුල් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන බව කීවද සුදුසුකම් ලබා ඇති පවුල් වශයෙන් පසුගිය ජූලි 01 වනවිට තොරාගෙන තිබෙන්නේ පවුල් 1,792,265ක් පමණක් බවද රාජ්‍ය ඇමතිගේ ප්‍රකාශයෙන් හෙළි වී තිබේ.

රජයේ නිල වෙබ්අඩවිය වාර්තා කර තිබෙන මෙම තොරතුරු අනුව ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිගෙන් මේ දක්වා ආණ්ඩුව සැඟවූ කරුණු දෙකක් හෙළි වී ඇත. අස්වැසුම සඳහා පවුල් ලක්ෂ 20ක් තෝරාගෙන නොසිටි බවත් සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 392,347ක් කපා හැර ඇති බවත් හෙළි කර ඇත. රජයේ නිල වෙබ්අඩවිය එම තොරතුරු සටහන් කර තිබෙන්නේ “දැනට පවුල් 1,792,265ක් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 9,046,612ක් සුබ සාධන ප්‍රතිලාභ ලැබීම සඳහා අලුතින් ඇතුළත් වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇති අතර අභියාචනා සහ විරෝධතා පිළිබඳ සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළගා වීමට හැකි වනු ඇති බව ද සේමසිංහ මහතා පැවැසීය.” යනුවෙනි.

ආණ්ඩුව අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා සුදුස්සන් තෝරාගැනීමේදී සමෘද්ධි නිලධාරීන් මත අනවශ්‍ය පීඩනයක් පටවා ඔවුන් එම ක්‍රියාවලියෙන් ඉවත් කර වෙනත් පිරිසක් යොදවමින් අදාල ප්‍රතිලාභීන් තෝරාගැනීම නිසා මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභයත් අස්වැසුම ප්‍රතිලාභයත් යන දිළිඳු සහනාධාර යෝජනා ක්‍රම දෙකම අඩපන කර තිබේ.

Facebook
Twitter
LinkedIn