වැඩකරන ජනතාව ආරක්ෂා කරන නීති 13ක් අහෝසි කර, අලුත් නීතියක් ගේන්න යනවා… නීතිඥ හර්ෂණ නානායක්කාර

වැඩකරන ජනතාව ආරක්ෂා කරන නීති 13ක් අහෝසි කර, අලුත් නීතියක් ගේන්න යනවා… නීතිඥ හර්ෂණ නානායක්කාර

“නව කම්කරු නීති කෙටුම්පතක් ලෙස තවමත් ඉදිරිපත් කර නැතත් ගේන්න යන සංශෝධනවල අරමුණ පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන්. වැඩකරන ජනතාවට අපේ රටේ බලපවත්වමින් තිබෙන මූලික නීති 13ක් අහෝසි කර අලුත් නීතිය ගේන්න යන බව අපිට උපකල්පනය කරන්න සිදුවී තිබෙනවා. රජයේ බලපෑමක් හෝ මැදිහත් වීමක් නොමැතිව පුද්ගලයින් දෙදෙනෙකුට තමන් කැමති එකඟතාවන්ට පැමිණීමේ අවස්ථාව නීතියෙන් තහවුරු කර තිබෙනවා. මෙන්න මේ ලස්සන වගන්තිය යොදා ගනිමින් කම්කරු නීතිවලට ගලපන්න උත්සාහයක් තිබෙනවා. යථාර්ථය වෙන්නේ සමානයන් දෙදෙනෙකු සාකච්ඡාවකට වාඩිවුණොත් පමණක් කේවල් කිරීමේ හැකියාව තිබීමයි. පසුගිය අවුරුදු දෙක තුන තුළ දුප්පත්කම වැඩිවීම, රැකියා නැතිවීම, කර්මාන්ත වැසී යාම වැනි තත්වයන් තුළ පුද්ගලයන්ගේ මූලික අරමුණ ඕනෑම රැකියාවක් ගෙවන ඕනෑම මුදලක් මත කිරීමට සූදානම් අසරණ බහුතර ජනතාවක් ඉන්නේ. හාම්පුතා සමග කේවල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඉතාම අසාධාරණ කොන්ත‍්‍රාත්වලට යටත් වෙන්න සිදුවෙනවා. හොඳ සංකල්ප ඉදිරියට දමා නරක අරමුණු එක්ක පටලවලා මේ පනත ගේන්න යනවා. සේවා නියුක්තිකයාගේ එකඟතාවය මත ක්‍රියාකරන බව හැමතැනම සඳහන් කර තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර,

“ඉංජිනේරුවෙක් නම් තමන්ගේ නිපුනතාවය මත කේවල් කිරීමේ හැකියාව තිබෙනවා. රටේ බහුතර ජනතාවකට ඒක කරන්න බැහැ. මේ අවස්ථාවේ පනතක් හදන්න ඕනෑ බහුතර ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා. එහෙම නැතිව හැමෝම සමානයෝය කියන දුර්මතයේ පිහිටලා නොවෙයි. පනත හදපු අය මෙ බව නොදන්නවාත් නොවෙයි. කිසිසේත්ම වැඩකරන ජනතාවගේ ආරක්ෂාව සහ උන්නතිය ගැන හිතලා ගේන පනතක් නොවෙන බව පැහැදිලි කිරීමට කරුණු රැසක් තිබෙනවා. රැකියා අවසන් කිරීමේ පනතක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එහි දෙවන වගන්තිය අනුව යම් සේවකයෙකුගේ රැකියාව අවසන් කරනවා නම්, සේවා නියුක්තිකයාගේ ස්වකැමැත්ත හෝ කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය අවශ්‍යයි. මේ පනත අනුව කම්කරු කොමසාරිස්වරයාට දැනුම්දීම පමණක් ප‍්‍රමාණවත් බවත් පූර්ව අනුමැතිය අවශ්‍ය නොවන බවත් දක්වා තිබෙනවා. යෝජිත කෙටුම්පතේ 8:1 වගන්තියේ ස්වභාවික විපත්, වසංගත රෝග, බලශක්ති බිඳ වැටීම වගේ අවස්ථා යොදාගනිමින් අමතර වැඩ වුවත් පැවරිය හැකි බවට නීති සංශෝධනය වෙනවා. මේවගේ තැන්වලින් රිංගා යාමට අවස්ථා දීම සහ අර්ධ රැකියා ලබාදීම සඳහා සමාගම්වලට විශාල අවස්ථාවක් ලබාදෙනවා. ස්ථිර සේවකයන්ට වඩා මේ අයට ලැබෙන ආරක්ෂාව සහ ප‍්‍රතිලාභ ඉතාම අඩු වෙනවා.

කෙටුම්පතේ 16වෙනි වගන්තිය වඩාත් වැදගත්. කම්කරු කොමසාරිස්ට දැනුම්දීමෙන් පමණක් සේවකයන් ඉවත් කිරීමේ හැකියාව හාම්පුතුන්ට ලබාදෙනවා. කලින් නම්, කම්කරු කොමසාරිස්ගේ අවසරය ඕනෑ. නමුත් ව්‍යාජ කරුණු දක්වමින් වන්දි ගෙවීම් පවා අලූත් නීති වැඩකරන ජනතාවට අසාධාරණ ලෙස හඳුන්වා දෙන්න යනවා. අවුරුදු හතරකට වඩා අඩු සේවා කාලයක් ඇත්නම් ඉවත් කිරීමේදී වඩා අඩුමුදලක් වන්දි වශයෙන් දෙන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් වන්දි සූත‍්‍රය අනුව කෙතරම් ගෙවිය යුතු වුණත් ලක්ෂ 25කට වඩා නොදීමට කොන්දේසි තිබෙනවා. 18 වගන්තිය වන්දි නොගෙවා සේවය අවසන් කිරීමට ඉඩ ලබාදෙමින් සේවා ස්ථානවල ”රීති උල්ලංඝනය කිරීම” යනුවෙන් දක්වා තිබෙනවා. මෙතනදී සියල්ල තීරණය කරන්නේ සේවා යෝජකයන්. මෙයින් කියැවෙන්නේ පඩි නොගෙවා සේවකයන්ව ඉවත්කරන්න සුළු හේතූන් මත ඉඩ ලබාදීමයි. සම්පූර්ණයෙන්ම කම්කරු කොමසාරිස්ගේ අධීක්ෂණයෙන් ඉවත්කර සේවා යෝජකයන්ගේ අභිමතය පරිදි සේවකයන් ඉවත් කිරීමට ඉඩ ලබාදීම පුළුල් කර තිබෙනවා.

ඒ වගේම කෙටුම්පතේ 32වන වගන්තිය අනුව විෂය භාර ඇමතිවරයාට සේවා නියුක්තිකයාගේ එකඟතාවය මත අතිකාල නොගෙවා පැය 12ක් වැඩගැනීමේ හැකියාව ලබාදෙන්න යනවා. අතිකාල නොගෙවා වැඩ ගැනීමට මෙයින් ඉඩ හදාගන්න හැකිවෙනවා. ”සම්පිණ්ඩන වැඩ සතියක්” කියලා ලස්සන වචනයකුත් යොදා තිබෙනවා. පැය 24ක් වැඩගැනීමේ හැකියාවත් තහවුරු කෙරෙන වගන්ති යොදා රෝමයේ වහල් සේවය හා සමාන තත්වයක් ඇති කරන්න යනවා. පීතෘ සහ මාතෘ නිවාඩු ලබාදීම් ගැන සඳහන් කරමින් ළමුන් සේවයේ යෙදීමේ අවස්ථාව ලබාගන්න යනවා. 1995 සිට ක්‍රියාත්මක වන තත්වය යටතේ ළමයා නිර්වචනය කර තිබෙන්නේ අවුරුදු 18 අඩු පිරිසයි. නමුත් මේ පනතේ අවුරුදු 16ට අඩු අය ළමයා හැටියටත් 16-18 අතර අය තරුණ පුද්ගලයන් ලෙසත් හඳුන්වා තිබෙනවා. යෝජිත පනතේ මෙවැනි වගන්තියක් යොදා තිබෙන්නේ පෙර නීතිය අනුව අවුරුදු 18ට අඩු කිසිකෙනෙක් සේවයේ යොදවන්න බැහැ. කාන්තාවන් හා ළමුන් සේවයේ යෙදවීමේ පනත අනුව එය තහනම් කර තිබුණා. නමුත් දැන් ළමා ශ‍්‍රමය ගන්න මේ පනත වෙනස් කර තිබෙනවා. ඔවුන් රාත්‍රී කාලයේ වුණත් වැඩගන්න හැකියාව ලැබෙනවා. කලින් පනත අනුව දරුවන්ට ජීවන අත්දැකීම් ගන්න අවශ්‍ය නිසා වෘත්තීය පුහුණු ආයතනයක හෝ පවුලේ කටයුතුවලට පමණක් ඔවුන් සහභාගී කර ගැනීමට ඉඩ දී තිබුණා. ළමා ශ‍්‍රමය සූරාකෑමටත්, කේවල් කිරීමේ හැකියාවක් නැති ළමුන් අඩු පඩියට යෙදවීමෙන් සූරාකෑම දරුණුවට යොදාගන්න ඉඩ දෙනවා.

ළමයින්ට අදාළව යෝජිත කෙටුම්පතේ 102 වගන්තිය තවත් වැදගත්. තරුණයන් යනුවෙන් ඔවුන් හඳුන්වන අයගෙන් පැය 60ක් සහ කාන්තාවන්ගෙන් පැය 80ක් දක්වා සතියකට අතිකාල සේවයට යොදවා ගැනීමේ හැකියාව ලබාදෙන්න යනවා. මේ වගේ ව්‍යාජයන් තුළ ‘මෑන් පවර් ඒජන්සි’ පවත්වාගෙන යන ශ‍්‍රම වෙළෙන්දන්ට විශාල ඉඩක් ලබාදමේ හැකියාව මේ තුළ තිබෙනවා. නරින්ට කුකුළෝ බාරදුන්නා වගේ ක්‍රියා කිරීම වෙනුවට සේවකයන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වගකීම මීට වඩා තිබිය යුතුයි. මේ පනතින් කරන්නේ යන්නේ තිබුණු ආරක්ෂාවක් ඉවත් කර ශ‍්‍රමය සූරාකෑම පහසු කිරීමයි. මෙය වගන්තියෙන් වගන්තිය සංශෝධනය කර, ගෙනයාමට නොහැකි පනතක්. මේ පනතේ තේමාවම, ආකල්පමය සූරාකෑම සහ දැනට පවතින සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්