ලංකාවේ ව්‍යවසායකයන් නට්ටංකර ඉන්දීය ව්‍යාපාරිකයන්ට ඉඩ පුළුල් කරයි

මේ වනවිට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල බිඳ වැටීමට හිතාමතාම ඉඩ සලසා දෙමින් ක්‍රියා කරන ආණ්ඩුව ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා මෙරට තුළ විශාල ඉඩකඩක් නිර්මාණය කර දෙමින් සිටින බව රජයේ නිල වෙබ් අඩවියේ පල කර තිබෙන ප්‍රවෘත්තියකින් තහවුරු වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය ව්‍යාපාරිකයන් පිරිසක් සමග පසුගිය 13 වනදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදි කරණ ලද සාකච්ඡාවකදී මෙරට තුළ වඩාත් වැඩි ඉඩකඩ ඔවුන්ට ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. එම හමුවේදී සාකච්ඡා කළ කරුණු අනුව ඉන්දීය ව්‍යාවසායකයින්ට ලැබෙන අවස්තා පිළිබඳව සතුටට පත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමරු තිළිනයක්ද ප්‍රදානය කර තිබේ.

එහෙත් මෙරට ව්‍යාපාර බන්කොලොත් කරමින් ආණ්ඩුව ගෙනයන ආර්ථික උපායමාර්ගය පිළිබඳව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර ඊයේ (15)ද විශාල කරුණු ප්‍රමාණයක් මාධ්‍ය හමුවකදී හෙළි කර තිබිණි. මෙරට ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කර දෙන ලෙස දිගින් දිගටම කරනු ලබන ඉල්ලීම සලකා බැලීමටවත් නොගෙන ආණ්ඩුව විසින් අත්හැර දමා ඇත. එම වටපිටාව තුළ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා මෙරට වඩා පුළුල් අවස්ථාව සලසන ආකාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර තිබේ. රජයේ නිල වෙබ්අඩවිය එය වාර්තා කර තිබුණේ,

“මේ වන විට ඉන්දියාව ආසියානු කලාපයේ ප්‍රබල රටක් ලෙස බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් බටහිර ආසියානු රටවල් ද ප්‍රබල තත්ත්වයට පත් වී තිබීමත් විශේෂත්වයක්. ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් ඉදිරියටම ඒමට හැකි වී තිබෙනවා. එම මූල්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙනවා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්