වැඩකරන ජනතාව වහලුන් බවට පත්කරන IMF නියෝග වහාම හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කරනවා… විජිත හේරත්

වැඩකරන ජනතාව වහලුන් බවට පත්කරන IMF නියෝග වහාම හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කරනවා… විජිත හේරත්

“අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලු බවට පත්කරන්න අයි.එම්.එෆ්. එකේ කොන්දේසි අනුව මේ පනත ගෙනත් ස්ත්‍රී – පුරුෂ භේදයක් නැතිව බලපවත්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත සම්මත කර ගතහොත් අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලු බවට සියලුම ජනතාව පත්කරමින් වහල් වෙළඳාම ස්ථාපිත කරන තත්වයක් ඇති කරන්න යනවා. ඒ නිසා ජාතික ජන බලවේගය විදිහට අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ කම්කරුවන් මර්දනය කර, වහලුන් බවට පත්කරන මේ පනත හකුලා ගන්නා ලෙසයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් මේ පනත වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයෙ ආණ්ඩුවට බල කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,

“ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වෙලා මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරගෙන යනවා. ණය ප‍්‍රශස්තකරණය හරහා අර්ථසාධක අරමුදල සහ අනිකුත් සේවක විශ‍්‍රාම අරමුදල් කප්පාදු කරන්න සූදානම් වෙන ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයා අලුත් පනතක් ගෙනත් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න සූදානම් වෙනවා. මෙතෙක් කල් වැඩකරන ජනතාවගේ අයිතීන් යම්තරමකින් හෝ තහවුරු කරන්න දායක වුණු අනපණත් 13ක් අහෝසි කර අලුත් නීතියක් හඳුන්වා දෙන්න පිඹුරුපත් සකස් කර තිබෙනවා. වැඩකරන ජනතාවගේ වෘත්තිය අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කිරීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යොමුවී තිබෙනවා.

ආර්ථිකමය වශයෙන් රටක් බංකොලොත් වී තිබෙන වෙලාවක වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීමයි කළ යුත්තේ. ආර්ථික වශයෙන් දුබල ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. නමුත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හරහාත් ‘අස්වැසුම’ හරහාත් හඳුන්වා දෙන්න යන මේ කම්කරු නීති හරහා තවදුරටත් දුප්පත් ජනතාව තලාපෙළීම ආණ්ඩුවේ කාර්යභාරය වී තිබෙනවා. අයි.එම්.එෆ්. යෝජනාවලට යටවුණු ආණ්ඩුව දුප්පත් ජනතාව, වැඩකරන ජනතාව සහ විශ‍්‍රාම අරමුදල් කප්පාදුව හරහා සෑම ක්ෂේත‍්‍රයකම ජනතාව දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. වැඩකරන ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ දිනය සතියේ පැය 45ක් දක්වා දීර්ඝ කර, දවසකට පැය 12ක් වැඩ කළ යුතු තත්වයක් නීතිගත කරන්න යනවා. දවසකට පැය 16 දක්වා සේවකයාගේ කැමැත්ත අනුව බව කියමින් වැඩ ගන්න උත්සාහයක් තිබෙනවා. මෙතෙක් සටන්වලින් දිනාගත් අයිතීන් කප්පාදු කර, 1999 අංක 32 දරන යම් ආයතනයක වෘත්තිය සමිතියක් පිහිටුවීමේ අයිතිය තහවුරු කළ නීතියක් වෙනස් කරන්න යනවා. හාම්පුතාට වෘත්තිය සමිති පිහිටුවීම සම්බන්ධයෙන් බාධා කරන්න බැහැ. එවැනි අවස්ථාවක කම්කරු කොමසාරිස්ට දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඒ ආයතනයේ වැඩකරන ජනතාවට තිබුණා. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙන්න තිබූ මේ අයිතියත් අලුත් පනතින් අහෝසි කරන්න යනවා. ඒ අනුව හාම්පුතාට දැනුම් නොදී හදිසි වෘත්තිය අයිතිවාසිකමක් වෙනුවෙන් ක්‍රියාකිරීම අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරන්න සූදානම් වෙනවා.

වෘත්තිය සමිති පිහිටුවීමේ යාන්ත‍්‍රණයත් දුබල කරන යෝජනා මේ තුළ තිබෙනවා. යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට වෘත්තිය සමිතියේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවට සංශෝධන නීති ගේන්න යනවා. පාලකයන්ගේ හදිසි අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ක්‍රියාකරන්න සාමාජිකයන්ගේ ඡන්ද පවත්වලා කල්මරන්න බැහැ. ඒ වගේම කාන්තාවන්ගෙන් වැඩගැනීමේදී පනවා තිබූ සීමාවන් ඉවත් කර, මේ දක්වා ලබාදී තිබූ සියලූ බැඳීම් අහෝසි කරන්න උත්සාහ කරනවා. අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලු බවට පත්කරන්න අයි.එම්.එෆ්. එකේ කොන්දේසි අනුව මේ පනත ගෙනත් ස්ත්‍රී – පුරුෂ භේදයක් නැතිව බලපවත්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත සම්මත කර ගතහොත් අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලු බවට සියලුම ජනතාව පත්කරමින් වහල් වෙළඳාම ස්ථාපිත කරන තත්වයක් ඇති කරන්න යනවා. ඒ නිසා ජාතික ජන බලවේගය විදිහට අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ කම්කරුවන් මර්දනය කර, වහලුන් බවට පත්කරන මේ පනත හකුලා ගන්නා ලෙසයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් මේ පනත වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයෙ ආණ්ඩුවට බල කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්