පකිස්තානු යුද නැව්, ඉන්දීය සබ්මැරීන තරඟය කොළඹටත්

පකිස්තානු යුද නැව්, ඉන්දීය සබ්මැරීන තරඟය කොළඹටත්

මෙම ජූනි 18 වෙනිදා පකිස්තානු යුද නැවක් කොළඹ වරායට පැමිණීම සහ ඊට පසුදින (19) ඉන්දීය සබ්මැරීනයක් තරඟයට මෙන් කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය විශ්ලේෂණාත්මක සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන උපුටා ගෙන පහත පළ කෙරේ.

‘INS වගීර්’ සහ ‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’: ඉන්දීය සබ්මැරිනයක් හා පාකිස්තාන යුද නැවක් කොළඹට ආවේ ඇයි?

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS වගීර්’ (‘INS Vagir’) සබ්මැරීනය අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු විය. සිව් දින නිල සංචාරයක් සඳහා මෙම ඉන්දීය සබ්මැරීනය කොළඹට පැමිණියේ පාකිස්තාන යුද නෞකාවක්ද කොළඹ වරායේ නැංඟුරම් ලා තිබියදීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ නිල සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් වගීර් සබ්මැරීනය මෙලෙස කොළඹට සේන්දු වූ බවය.

කොළඹ වරායට සේන්දු වූ වගීර් සබ්මැරීනය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව අද උදෑසන පිළිගෙන තිබේ.

‘INS වගීර්’ සබ්මැරීනය

කොළඹ වරායට සේන්දු වූ ‘INS වගීර්’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා නාවිකයින් 60 දෙනෙකුගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර්. එස් (Commander Divakar S) කටයුතු කරනු ලබයි.

ඉන්දියාව ස්වදේශීයව නිෂ්පාදනය කරන ලද කල්වාරි පන්තියේ මෙම සබ්මැරීනය ඉන්දීය නාවික හමුදාවට එක්වු නවතම සබ්මැරීනයකි.

මෙම සබ්මැරීනය ඉන්දීය නාවික හමුවට එක්වන්නේ 2023 ජනවාරි මාසයේදීය.

 ‘INS Vagir’
ඡායාරූප ශීර්ෂ වැකිය,වගීර් සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වූ අයුරු
 ‘INS Vagir’
ඡායාරූප ශීර්ෂ වැකිය,වගීර් සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගත් අයුරු..

‘ගෝලීය සාගර වළල්ල’

‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ පැවැත්වෙන 9 වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සබ්මැරීනය කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය නාවික හමුදාව මෙවර ජාත්‍යන්තර යෝගා දිනයට සහභාගී වන්නේ ‘ගෝලීය සාගර වළල්ලක්’ සාදමින් ලොව පුරා තෝරාගත් වරායන්හි යෝගා අභ්‍යාස කිරීමේ සුවිශේෂී වැඩසටහනකට මුලපුරමින් බවය.

දැනට G20 කණ්ඩායමේ ඉන්දියාව සභාපති ධුරය දරනු ලබන්නේ ‘එක් පොළොවක්, එක් පවුලක්, එක් අනාගතයක්’ යන තේමාව යටතේ වන අතර ඊට සමගාමීව යහපැවැත්ම පිළිබඳ පොදු දැක්මකට ලොව පුරා සිටින ජනතාව සම්බන්ධ කරමින්, මෙවර ජාත්‍යන්තර යෝග දිනය සමරනු ලබන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දීය නාවික හමුදා නෞකා සහ සබ්මැරීන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම මගින් ‘පළමුව අසල්වැසියා’ යන ප්‍රතිපත්තිය සහ ‘කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (සාගර්)’ යන ඉන්දියාවේ දැක්මට අනුකූලව අසල්වැසි නාවික හමුදා දෙක අතර සහෝදරත්වය සහ එකමුතුව පෝෂණය කිරීම අරමුණු කරන බවද මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ඉන්දීය සාගරයේ භූ දේශපාලනික වශයෙන් වැදගත් පිහිටිමක් සහිත ශ්‍රී ලංකාවට මීට පෙර චීන සබ්මැරින සහ පර්යේෂණ නෞකා පැමිණි අවස්ථාවන්හිදී ඉන්දියාව ඊට විරෝධය පළ කරනු ලැබීය.

ඒ, එය තම රටේ ජාතික ආරක්ෂාවට සහ ජාතික අභිලාශයන්ට තර්ජනයක් බව පවසමිනි.

ඊට ආසන්නතම සිද්ධිය වූයේ චීන නාවික හමුදාවට අයත් යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීමය.

චීනය පර්යේෂණ නෞවක් ලෙස හැඳින්වූ මෙම නෞකාව ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා තිබුණේ, චීන ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසය.

YUAN WANG 5
චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ආන්දෝලනාත්මක සිද්ධියක් විය.

යෝගා වැඩසටහන

මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා ‘INS වගීර්’ සබ්මැරීනයේ නාවික සමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිතය.

‘INS වගීර්’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගීවීමට නියමිතව ඇත.

එමෙන්ම, ‘INS වගීර්’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.

ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

සබ්මැරීනයේ කොළඹ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා ද යාත්‍රාව විවෘත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ජුනි මස 22 වන දින ‘INS වගීර්’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

ඉන්දීය නාවික හමුදාවට අයත් දිල්ලි, සුකන්‍යා, කිල්තාන් සහ සාවිත්‍රි යන නෞකා මෙම වසර මුලදී කොළඹ සහ ත්‍රිකුණාමලයේ සංචාරය කළේය.

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’ නෞකාව ද නිල සංචාරයක් සඳහා (2023 ජුනි 18) කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’ යුද නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නාවිකයින් 168 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ජවාඩ් හුසේන් කටයුතු කරනු ලබයි.

‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’ නෞකාව ජුනි මස 20 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

‘පී.එන්.එස් ටිප්පු සුල්තාන්’
පී.එන්.එස් ටිප්පු සුල්තාන්’ නෞකාව කොළඹ වරායේදී පිළිගත් අයුරු..
Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්