ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, වංචා චෝදනා එල්ල කරමින් විරුද්ධ පක්ෂ අපේක්ෂකයින් බිය වද්දමින්, සිර ගත කරමින් තුන්වන වරටත්, 2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තුන්වන වරටත් ඉදිරිපත් වීමට සෙනෙගාලයේ වර්තමාන ජනාධිපති MACKY SALL සුදානම් වේ. කොරෝනා වසංගතය හේතුවෙන් සෙනෙගලයේ දළ ජාතික නිෂ්පාදනය 12%කින් කඩා වැටුණු අතර රටේ ජනගහනයෙන් 36.9%ක් අන්ත දරිද්‍රතාවයට ඇද වැටුණි. පාලක රජයට එරෙහිව විපක්ෂයේ අධිරාජ්‍ය විරෝධී තරුණ නායකයෙකු ලෙස නැගී එන ඔස්මන් සොන්කෝ නායකත්වය ලබා දීමත් සමගම අන්තර් ජාතික මුල්‍ය අරමුදලද ඩොලර් බිලියන 03ක් පසුගිය සතියේ පොම්ප කරනු ලැබීය.
මේ වනවිට සෙනෙගලයේ විපක්ෂයේ තරුණ ප්‍රගතිශීලි නායකයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධව සිටින ඔස්මන් සොන්කෝට ඉදිරිපත් වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනා පසුගිය සතියේ විභාග කරනු ලැබූ අතර එරට අධිකරණය විසින් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේය. මෙම නඩු තීන්දුවත් සමග ඔස්මන් සොන්කෝ හට ලබන වසරේදී පැවැත්වෙන එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත. කෙසේවෙතත් මෙම නඩු තීන්දුව ලබා දෙන අවස්ථාවේදී සොන්කෝ එයට සහභාගී වී නොසිටි අතර ඔහු තම පාක්ෂිකයින් සමග එරට අගනුවරට දින තුනක මහා පා ගමනක් ආරම්හ කර ඇත. කිලෝ මීටර් 500ක දුර ගෙවා සෙනගාලයේ අගනුවර ඩකා නුවරට පැමිණෙන මෙම මහා පා ගමන “නිදහසේ මාවත” ලෙස නම් කර ඇත.
වර්තමාන ජනාධිපති MACKY SALL රටේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් තුන්වෙනි වරටත් 2024දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සහ කිරීම රටේ ජනතාවගේ දැඩි විවේචනයට හා පිළිකුලට භාජනය වී ඇති අතර 2021 මාර්තු 7 වැනිදා සිට එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ හා පෙලපාලි දිනපතා උත්සන්න වෙමින් පවතී. විශේෂයෙන් රටේ තරුණ ප්‍රජාව මෙම වීදි සටන් හා නාගරික ගරිල්ලා සටන්වල පෙරමුණ ගනිමින් සටන් වදින අතර රටේ රැකියා වියුක්ති භාවය 22.9%ක් ලෙස සටහන් වන අතර එයින් 16.7%ක් තරුණයන් වේ. මෙම සටනට නායකත්වය දෙනු ලබනුයේ වයස 48ක් වන ඔස්මන් සොන්කෝ විසිනි. දේශපාලනයට පිවිසීමට පෙරට එරට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ සොන්කෝ එයින් ඉවත් කරනු ලබනුයේ MACKY SALL පවුල් පාලනය විසින් සිදු කරනු ලැබූ දැවැන්ත බදු වංචා හා දුෂණ හෙළිකිරීමත් සමගිනි.
සෙනගාලයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින, කසමන්ස් ප්‍රදේශයේ වෙසෙන බහුතර දියෝලා නැමති සටන් කාමී ගෝත්‍රික ප්‍රජාවේ සම්භවය ඇති ඔස්මන් සොන්කෝ තම නායකයා ලෙස තෝරා ගැනීමට සෙනෙගාලයේ බහුතර wolofs ජනතාව දෙවරක් සිතුවේ නැත. පාලක රජයේ මාධ්‍ය මාෆියාව ඔස්මන් සොන්කෝගේ මෙම සම්භවය පෙන්වා ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කලද එය මේ වනවිට අසාර්ථක වී ඇත. මෙම මාධ්‍ය මෙහෙයුම් අවසාන කරමින් ඊයේ 26 වැනිදා කසමන්ස් කලාපයේ සිට රටේ නිදහස පතා දැවැන්ත පා ගමනක් ආරම්හ කිරීමට ඔස්මන් සොන්කෝ තීරණය කරනු ලැබීය.
නිදහස සඳහා වූ මහා පා ගමන ආරම්හ කිරීමට පෙර මාධ්‍ය හා දහස් සංඛ්‍යාත තරුණයන් ඇමතූ ඔස්මන් සොන්කෝ මෙසේ පැවසීය.
“මේ දුෂිත පවුල් පාලනය ඉදිරියේ අප තව දුරටත් දණින් වැටිය යුතු නැහැ. මෙම පාලනය සමග කිසිදු සම්මුතියකට එකඟ වී සමස්ත සෙනෙගාල ජනතාවගේ නිදහස හා යුක්තිය වෙනුවෙන් වූ සටන පාවා දීමට මා සුදානම් නැහැ. මෙම අපගේ අවසන් සටනයි. අප ඩකා අගනුවරට යන්නේ MACKY SALL සමග ගණුදෙනුව මුහුණට මුහුණ හමු වී බේරා ගැනීමටයි. ඇහැට ඇහැක්, දතට දතක් ඩකා අගනුවරදී තෝරා ගැනීමට පාලක MACKY SALL රජයට සිදු වේවි. පසුබැසීම හෝ පාලනය හැරදා ගෙදර යෑම ඔහු තෝරා ගත යුතුයි. ඒ සඳහා මා සමග එක්වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යයි පවසා සිටියේ ජනතා ඔල්වරසන් මධ්‍යයේය.
මෙම වසරේ මාර්තු 24 වැනිදා ඔස්මන් සොන්කෝට එරෙහිව පැවැත්වූ, රජයේ ඇමතිවරයෙකුට එරෙහිව බොරු දුෂණ චෝදනා ඉදිරිපත් කිරීම යන්න මත ආරම්හ කළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ රජයේ නීතිපති විසින් ඔහුට වසර 05ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ රටේ තරුණයන් නොමග යැවීමත් චෝදනා පත්‍රයට එකතු කරමින් වීම විශේෂ කාරණයකි. යුනෙස්කෝ වාර්තා අනුව සෙනගාලයේ ජනගහනයෙන් 70%ක් 18-30 අතර වූ තරුණයන් වේ. මෙම නඩු තීන්දුව පිළිබඳව මාධ්‍ය අමතා ප්‍රකාශයක් සිදුකල ඔස්මන් සොන්කෝ පැවසුවේ රටේ අධිකරණය MACKY SALLගේ රූකඩයක් බවට පත් වී ඇති බවයි.
ඔස්මන් සොන්කෝ විසින් කැඳවනු ලැබූ මෙම දැවැන්ත පා ගමනත් සමග සමස්ත බටහිර ලිබරල් ලෝකයම කැළඹී සිටි. විශේෂයෙන් පසුගිය කාලයේ බටහිර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින අවස්ථාවේදී අප්‍රිකානු අධිරාජ්‍ය විරෝධී නායකයෙකු ලෙස ප්‍රකට බුර්කිනා පාසෝ හි හමුදා කුමන්ත්‍රණයකින් 1987 දී මරා දැමු කැප්ටන් තෝමස් සංකාරාගේ රුව ඔස්මන් සොන්කෝ විසින් ප්‍රදර්ශනය කිරීමත් සමග ලිබරල් ලෝකය කුලප්පු වී ඇත. 2017 වසරේදී සෙනෙගලයේ ගෑස් හා තෙල් හමුවීමත් සමග මෙම කලබලය ත්‍රිව වී ඇති අතර මුල්‍ය අරමුදලද පසුගිය සතියේ ඩොලර් බිලියන 03ක් රටට ණය ලෙස ලබා දෙනු ලැබුවේ දුප්පත්කම නැති කිරීම, පරිසර ආරක්ෂාව වැනි කාරණා ඉස්මතු කරමින්ය.
කෙසේවෙතත් ඔස්මන් සොන්කෝ විසින් දියත් කරනු ලැබූ මෙම නිදහස සඳහා වූ පාගමන අප්‍රිකාවේ මෙන්ම ලොව පුරා තරුණ විප්ලවවාදීන්ට තම විමුක්ති සටන් සඳහා මහත් ආශ්වාදයක් ලබා දෙනු ඇත. මේ වනවිට දැඩි බියකට පත් වී ඇති MACKY SALL රජය විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම උත්සන්න කර ඇති අතර ඩකා නුවර සොන්කෝගේ පක්ෂයේ (Pastef) “දේශප්‍රේමින්” නායකයෙකු වන DIJIBRIL NDIAYE අත්ඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනු ලැබීය.










