දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම – IMF නියෝජිතයන් පැමිණීමෙන් බැංකු කැළඹේ

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම – IMF නියෝජිතයන් පැමිණීමෙන් බැංකු කැළඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවත්වන සමාලෝචන සාකච්ඡාවලදී මූලිකම කාර්යය වී තිබෙන දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් මෙරට පෞද්ගලික බැංකුවලටද විශාල බලපෑමක් සිදුවන අතර එම බැංකුකරුවන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙයට පෙර සඳහන් කර තිබුණේ මෙරට පෞද්ගලික බැංකු රජයට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීමට පෙර එහි තිබෙන අතිශය සංවේදීතාවය සලකා සියලු පාර්ශව සම්බන්ධ කර ගත් පළල් සාකච්ඡාවක් සිදු කළ යුතු බවය. නමුත් ආණ්ඩුව මේ දක්වා එවැනි සාකච්ඡාවකට මුල පිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සහ මෙතෙක් ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයකට එළඹී තිබේ.

මෙරට පෞද්ගලික බැංකු සතු මුලු වත්කම්වලින් 27%ක සමාන මුදලක් රජයට ණය ලෙස ලබා දී ඇත. පසුගිය වසර අවසන් වනවිට එම බැංකුවල මුළු වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 836,970ක් වී තිබිණි. රජයේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මගින් රුපියල් කෝටි 204,610ක් රජයට ණය ලෙස ලබා දී ඇත.

කොමර්ෂල් බැංකුව, හැට්න්නැෂණල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව, නේෂණ් ට්‍රස්ට් බැංකුව සහ පැන් ඒෂියා බැංකුව යන පෞද්ගලික බැංකු රජයට ණය ලබා දුන් ප්‍රමුඛතම ආයතන අතර පවතී. මෙම බැංකු විසින් භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් කෝටි 107,020ක්ද ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මගින් රුපියල් කෝටි 53,680ක්ද භාණ්ඩාගාර බිල්පති මගින් රුපියල් කෝටි 50,150ක්ද සංවර්ධන බැඳුම්කරමගින් රුපියල් කෝටි 13,760ක්ද වශයෙන් රජයට ණය ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn