කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම මඟින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට ඊයේ (28) දැනුම් දී තිබේ.
ඒ, මෝසමක් මාර්ගයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම කරුණු දක්වමිනි. මෙහි පළමු සැකකරු වන ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය එම චෝදනාවෙන් නිදහස් කරන්නැයිද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙවන සැකකරු වන රාජිත සේනාරත්න යන අයට හෙට (31) අංක 10 හෝ 11 මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් එදිනට අධිචෝදනා ගොනු කිරීම පමණක් සිදු කරන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණය හමුවේ පවසා ඇත.
සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අධිචෝදනා ගොනු කර ඒ බව අධිකරණයට දන්වන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කර ඇති අතර පළමු සැකකරු චෝදනාවෙන් නිදහස් කර ඇත.
නඩුකරය දෙසැම්බර් 04 යළි කැඳවීමට නියමිතය.










