මැතිවණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය පැවැතිවීමට අදාළව මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, පක්ෂ ලේකම්වරු සහ ජනමාධ්‍යවල අවධානය යොමු කරවමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අද (16) මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදී ගනු ලැබූ තීරණයක් අනුවය.

එම නිවේදනයේ සඳහන් ප්‍රධාන කරුණු 03 පහත පරිදිය.

  1. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 (4) වගන්තිය අනුව පිළිගත් දේශපාලන පක්ෂ විසින් විගණනය කරන ලද පක්ෂයේ ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු ය. එසේ වුවද 2021 වර්ෂයට අදාළව භාර දිය යුතුව පවතින, ගිණුම් ප්‍රකාශ මේ දක්වා භාර දෙනු නොලැබූ දේශපාලන පක්ෂ වෙත ඒවා හාර දෙන ලෙස අවස්ථා රාශියක දී ම දැනුම් දී ඇත. ඒ අනුව අද දිනය (2023.03.16) තෙක් ඒවා භාර නොදුන් දේශපාලන පක්ෂ වෙත අද දින සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ භාර දෙන ලෙස ලියාපදිංචි ලිපි මගින් දැන්වීමට මැතිවරණ කොමිසම තීරණය කරන ලද අතර, එම නියමය අනුව කටයුතු කිරීමට අපොහොසත් වන දේශපාලන පක්ෂ උක්ත පනතේ 9(3) උපවගන්තිය ප්‍රකාරව පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට එකී පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීම.
  2. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් 2023.03.23 දින පෙ.ව.10.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීම.
  3. මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය යැයි හැඟෙන මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන හා තොරතුරු පිළිබඳව සතිපතා හෝ අවශ්‍යතාව අනුව ඊට පූර්වයෙන් හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් සියලුම මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදු කිරීමට තීරණය කරන ලද බැවින් ඊට පරිබාහිරව වෙනත් පාර්ශ්ව වෙතින් නිල නොවන නිවේදන හෝ තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටින ලෙස සියළුම මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින අතර, එවැනි සාවද්‍ය නිවේදන හෝ තොරතුරු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ වගකීමක් නොමැති බව දැන්වීම.
Facebook
Twitter
LinkedIn