ඔහු ජනපතිවරයෙකි. ඇය සාමාන්‍ය පුරවැසි කාන්තාවකි. එක්තරා දිනෙක මග රැක සිටි මේ කානාතාව ජනපතිවරයාට අඹ ගෙඩියකින් දමා ගැසුවාය. එල්ලය හරියටම හරි ගියේය. අඹ ගෙඩිය ජනපතිවරයාගේ කන හරහා වැදී බිමට වැටිණ. වහාම අඹ ගෙඩිය අහුලාගත් ජනපතිවරයා එය හොඳින් පරීක්ෂා කර බැලුවේය.
“ඔබට පුළුවන්නම් මට ඇමතුමක් දෙන්න”
කාන්තාවගේ නම සහ දුරකථන අංකය සමග පණිවුඩයක් සටහන්ව තිබුණේය.
මෙවන් සිදුවීමකදී ඊළඟට සිදුවිය යුතුව තිබුණේ කාන්තාව අල්ලාගෙන ජනපතිවරයාට පහරදීමේ චෝදනාව පිට සිරගෙට යැවීමට. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. අඹ ගෙඩියේ සඳහන් වූ දුරකථන අංකයට ඇමතුමක් නම් ලැබුණේය.
“ඔබට මොනවද අවශ්‍ය”
“මැරෙන්න කලින් මගේ කියලා ගෙයක්”
කන පිරෙන්නට ගැහැනියකගෙන් අඹගඩි පහර කෑ ජනපතිවරයා පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් ඒ ගැහැනියට මහල් නිවාසයකින් ගෙයක් ලබාදුන්නේය.
මේ කියන ජනාධිපතිවරයා අන් කවරකු හෝ නොව හියුගෝ චාවේස් ජනාධිපතිවරයාගෙන් පසු වෙනිසියුලාවේ අනාගතය භාරගත් ඔහුගේ අනුප්‍රාප්තිකයාය. නැතිනම් වර්තමාන වෙනිසියුලානු ජනපති නිකොලැස් මදුරෝය.
හිටපු බස් රියැදුරෙකු වන මදුරෝ අදටත් ඉඳ හිට බස් රථ ධාවනය කරන්නේය. සාමාන්‍ය ජනතාව සමග ගැවසෙන්නටත් ඔවුන්ගේ අදහස් උදහස් දැනගන්නටත් ජනපති මදුරෝ මෙය අවස්ථාවක් කර ගන්නේය. මාලනී ඔලිවියා නම් වූ කාන්තාව ජනපතිවරයාට අඹගෙඩි ප්‍රහාරයක් එල්ල කළේ ජනපතිවරයා මෙලෙස බස් රථයක් ධාවනය කළ අවස්ථාවකදීය.
අඹ ප්‍රහාරයක් ලක් වුවද තම යටත් වැසියන්ගේ අදහස් උදහස් දැනගන්නට ලැබීම ගැන ජනපති මදුරෝ සතුටුවන බව සැක නැත. මෙම සිදුවීමෙන් පසුව රූපවාහිනිය හරහා ජනපතිවරයා දැක්වූ අදහස් එයට හොඳම සාක්ෂිය සපයයි.
“ඇයට නිවාස ප්‍රශ්නයක් තිබිලා. ඔවු මාලනී වෙනිසියුලානු මහා නිවාස මෙහෙයුම වැඩසටහන යටතේ ඔබට නිවසක් දෙන්න මම අනුමත කළා. ඉදිරි පැය කිහිපය තුළ ඔබට ඒ නිවස ලැබෙයි”
කන පිරෙන්නට ලැබුණු අඹගෙඩි ප්‍රහාරයේ රිදුම යන්නටත් මත්තෙන් ජනපති මදුරෝ මාලිනීට නිවසක් ලබාදුන්නේ එසේය.
උපුටාගැනීම රිවිර









