බාල වයස් අපරාධකරුවන්ට දඬුවම් දීමට ඉන්දීයාව සැරසේ

දරුණු අපරාධ චෝදනා එල්ල වී තිබෙන බාල වයස්කාර චූදිතයින් වැඩිහිටියන් සේ සළකා දඬුවම් ලබා දිය හැකිවන පරිදි පනතක් ඉන්දීය කැබිනට් මණ්ඩලය සම්මත කර තිබේ.

බාලයන් සඳහා වන පනත සංශෝධනය කරමින් නව පනතේ සඳහන් කර ඇත්තේ මෙම බාල අපරාධකරුවන් සුළු අපරාධ, ප්‍රබල හා දරුණු අපරාධ යන කාණ්ඩයන්ට බෙදා දරුණු කාණ්ඩයට අයත්වන චූදිතයන් මනෝවිද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් මගින් සිදුකරන තක්සේරුවකින් පසු බාල හෝ වැඩිහිටි අපරාධකරුවන් ලෙස වර්ගීකරණය කර දඬුවම් ලබා දිය යුතු බවය.

බාල වයස්කරුවන්ගේ අයිතිවාසිකම් හා සමානවම අපරාධයන්ට ගොදුරු වන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටද මෙහිදී අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම වයස 16 – 18ත්  අතර වයස් කණ්ඩායමට අයත් චූදිතයන්ගෙන් සිදු වන ස්ත්‍රී දූෂණ, මිනී මැරුම් හා ඇසිඩ් ප්‍රහාර යන වරදවල් සඳහා දැඩි දඬුවම් පමුණුවන ලෙස මහජන මතයක් මේ වනවිට ඉන්දියාව පුරා නිර්මාණය වී තිබේ.

 

ලෝකයේ පාසැල් යා යුතු වයසේ ළමුන් අධ්‍යාපනය නොලබන ප්‍රධාන රටක් වන ඉන්දියාව තුළ දරිද්‍රතාවය හේතුවෙන් අධ්‍යාපනයෙන් පිටමන් වී සිටින ළමුන් මිලියන ගණනක් වේ. එසේම බාල වයස් ශ්‍රමිකයින් අධික රටක් වන ඉන්දියාව තුළ කුලවාදය, ආගම්වාදය හා ජාතිවාදය හේතුවෙන් අධ්‍යාපනය අඩාලවී සිටින දරුවන් අපරාධකරුවන් බවට ඉතා ඉක්මනින් පත්වන බව සමීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn